අගති විරහිතව “ආණ්ඩුවේ බෝඩිමට” යැවීම

දේශපාලන අපරාධකරුවන්ට දඩුවම් දෙන විධිමත් ක්‍රමයක් ලංකාවේ ඇති බවක් පෙනෙන්නට නොමැත. හැමදාම කරන්නේ කලින් බලයේ සිටි දේශපාලන පක්ෂයේ වැරැදි කළ අයව පක්ෂ දේශපාලන අවශ්‍යතා මත තෝරාගෙන දඩුවම් දීමයි. එසේ නැතිනම් දඩුවම් දෙන බව ලෝකයාට පෙන්වීමයි. මෙය අතිශයෙන්ම වැරැදි භාවිතාවක් වුවත් ලංකාවේ ධනපති සංස්කෘතිය අඩුම වශයෙන් ක්‍රමය රැක ගැනීම සදහා හෝ අපරාධකාරයාට දඩුවම් දෙන මට්ටමකට දියුණු නොවීම කනගාටුදායක ය.

මේ තත්ත්වය තුළ විමල් වීරවංශට එරෙහිව ඇති නඩුකරය හා එහි ක්‍රියාදාමය සදාචාරයට එරෙහි විය හැකි වුවත් අපරාධකරුවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් ය. එය පටු පක්ෂ දේශපාලන අවශ්‍යතාවක් විය හැකිය. සාපේක්ෂව “ලොකු අපරාධ” පසෙකලා “පොඩි අපරාධයක”ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් විය හැකිය. “අද කෙරෙන අපරාධ” පසෙකලා “ඊයේ වූ අපරාධ” වලට එරෙහිව කටයුතු කිරීමක් විය හැකිය. මේ කුමන චෝදනාවක් එල්ල වුවද විමල් වීරවංශට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය.

දේශපාලන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දෝෂ හා දේශපාලන අත පෙවීම් පෙන්වා දෙමින් විමල් වීරවංශට ඇපදිය යුතු බව ජනවාරි 08 දා මහජන අභිලාශයන් වෙනුවෙන් කැප වී වෙහෙස වූ බුද්ධිමතුන් ඇතුළු කොළඹ කේන්ද්‍රීය මත නිර්මාපකයන් අතලොස්සක් දැඩිව ප්‍රකාශ කරන අදහසකි. ඔවුන්ගේ තවත් තර්කයක් වන්නේ බැසිල් රාජපක්ෂට ඇප ලබා දුන්න නම් හා අර්ජුන් මහේන්ද්‍රන් නීතිය හමුවට ඉදිරිපත් නොකරන්නේ නම් විමල් වීරවංශට ඇප ලබාදිය යුතු බවකි. පළමුව අර්ජුන් මහේන්ද්‍රන් නීතිය හමුවට පමුණුවා අනතුරුව විමල් වීරවංශට එරෙහිව කටයුතු කිරීම යෝග්‍ය බව එක් අයකු පවසා තිබුණි.

මේ අදහස් මූලධාර්මික ලෙස පසුගාමී ය. මේ අදහස් දැන හෝ නොදැන සේවය කරන්නේ දේශපාලන අපරාධකරුවන්ට ය. පවතින නොදියුණු සංස්කෘතිය තුළ විනිවිද පෙනෙන අයුරින් හා අගති විරහිතව නීතිය ක්‍රියාත්මක කරවීමට තරම් සමාජ ක්‍රමය ශක්තිමත් නැත. යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටිය ද එවැනි දියුණු සමාජ සංස්කෘතියක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුවට ද ශක්තියක් නැත. ඒ තත්ත්වය තුළ අගතිගාමී ලෙස වුවද අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ඉදිරි පියවරකි.

විමල් වීරවංශට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ අගතිගාමී බව පෙන්වා දෙමින් ඔහුට ඇප දෙන්නැයි කීම ඒ අපරාධකරුවන්ට උපායශීලී සහාය දීමකි. නීතිය ක්‍රියාත්මක කරවීමේ සදාචාර හා අගතිගාමී සදොස් පෙන්වා දෙන්නන් පෙනී සිටිය යුත්තේ සියළු අපරාධ චෝදනාලාභීන්ට එරෙහිව විමල් වීරවංශට මෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලෙස බල කිරීමට මිස ඒවා පෙන්වා දෙමින් අපරාධ චෝදනාලාභීන්ට සහාය දීමට නොවේ. ඒ අර්ථයෙන් විමල් වීරවංශට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ ද එලෙසින්ම බැසිල් රාජපක්ෂ ඇතුළු අපරාධ චෝදනාලාභීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ආණ්ඩුවට බල කළ යුතුය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව මේ ආණ්ඩුව විසින් කවර තත්ත්වයක් යටතේ දී වත් නීතිය ක්‍රියාත්මක නොකරන බව ස්ථිරය. තමන්ගේ ආණ්ඩු කාලයේ සිදුවූ වරද සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ නීතිය ක්‍රියාත්මක වී ඇත්නම් ඒ ප්‍රදර්ශනාත්මකව පමණි. එනිසා යුක්තිය ඉටු කර ගැනීම සදහා සමාජය බල කළ යුත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි. මේ ආණ්ඩුවෙන් අගති විරහිතව දේශපාලන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන නිසා එවැනි ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව හා ශක්තිය ඔවුන් තුළ ඇති කරවිය යුතුය. ඔවුන් නීතිය ක්‍රියාත්මක වීමේ අගතිභාවයේ අත්දැකීමට ලක්ව ඇති නිසාත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ තමන්ගේ ආණ්ඩුවෙන් වූ වරදට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන නිසාත් ඒකාබද්ධ විපක්ෂය ගොඩනංවන ඊළග ආණ්ඩුවෙන් එවැනි පරිපූර්ණ යාන්ත්‍රණයක් ඇති කිරීමට ඔවුන්ට සමාජ වගකීමක් නිර්මාණය වී ඇත.

Advertisements

ධනපති පක්ෂ, ජාතික මතවාදය හා හෙළ උරුමයේ නව පෙළ ගැස්ම

අන්තිම දෙමළාගේ හමෙන් මැසූ සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කියූ එම් පී රාජරත්න සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේ හැටේ දශකයේ දී ය. දශකයන්ගෙන් නොව සහශ්‍රයන්ගෙන් ලෝකය වෙනස් වෙද්දී 2000 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් එවැනිම සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණි. එහි නායකයා ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම නියෝජිතයකු වූ තිලක් කරුණාරත්න වුවද සැබෑ න්‍යායධරයා වූයේ මහාචාර්ය නලින් ද සිල්වා හැදින්වූ පරිදි “සිංහල ප්‍රභාකරන්” කෙනෙකු වූ පාඨලී චම්පික රණවකයි.

2000 වර්ෂයේ මහා මැතිවරණයෙන් සිහල උරුමය ලැබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නීතීඥ එස් එල් ගුණසේකරට හිමි විය යුතු යැයි පක්ෂය තුළින් ආ යෝජනාව පාඨලී චම්පික රණවක විසින් ප්‍රතික්ශේප කිරීම එහි පළමු පිපිරීම විය. එස් එල් ගුණසේකර කදුළු පිරි දෙනෙතින් ඉකි ගසමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තමන් සිංහල වුවත් කතෝලිකයකු වූ නිසා මන්ත්‍රී ධූරය තමන්ට අහිමි වූ බවය. සිංහලයකු වුවත් බෞද්ධයකු නොවේ නම් සිහල ජාතිකවාදයේ නියෝජනයට අවකාශයක් නොමැති බව එහි මතවාදී දෘෂ්ඨිවාදය තීරණය කිරීම මීට හේතුවයි. ඒ අනුව එය පක්ෂයක වූ හුදු පිපිරීමකට වඩා නව සහශ්‍රයේ හිස එසවූ සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදයේ මතවාදී පිපිරීමක් ලෙස හදුනාගත හොත් වඩා නිවැරදි වේ. ජාතිකවාදී ව්‍යාපාරයක් ආගම,කුලය හෝ වෙනත් බෙදීම් අනුව පරමාණුකරණය විය නොහැකි වුවත් සිංහල ජාතිකවාදී ව්‍යාපාරයට ආවේනික දෘෂ්ඨිවාදීමය ගැටළුවක් නිසා එය හැමවිටම බෙදී වෙන්වී යෑමට දැක්වූයේ වැඩි කැමැත්තකි.

1978 දී ගෝලීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව කරා එනවිට ජාතිකවාදී මතවාදයන් දැරූ සමාජ කොටස් ගොනුවී තිබුණේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වටාය. ගෝලීය ප්‍රාග්ධනය එතෙක් ලාංකික සමාජයේ තිබූ සම්ප්‍රදායික සමාජ පුරුෂාර්ථයන්හි පදනම් වෙනස් කරමින් සිටී අතර ඒ කම්පනයන් දරා ගැනීමට අපහසු වූ සමාජය විමුක්තියේ නව මං සොයමින් සිටීයහ. විශේෂයෙන් සමාජයේ ආන්තික කොටස් තවදුරටත් ආන්තිකකරණයට ලක්වීම ද සම්ප්‍රදායි සමාජ ස්ථරයන්ට එල්ල වූ බලපෑම් ද නිසා සමාජය තුළ ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කදවුරු බැද ගැනීමක් සිදු වුණි. එහෙත් මේ වනවිටත් සමාජ සම්බන්ධතා ප්‍රති ව්‍යහගත වෙමින් තිබුණේ ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙසිනි. ඒ නිසා ගෝලීය ප්‍රාග්ධනය මුළුමනින්ම නොතකා කටයුතු කිරීමට සමාජයට නොහැකි වුණි. විශේෂයෙන්ම ධ්‍රැවීකරණය වෙමින් ආ අතරමැදි පන්තියට ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූයේ එම සමාජ කොටස්වල පදනම සකස් වී තිබුණේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය මත බැවිනි. අනෙක අතර මැදි පන්තිය විශාල සීඝ්‍රතාවකින් වර්ධනය වී පුළුල් වූයේ ද ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය තුළය. ඒ නිසා අතරමැදි පන්තිය සමාජ විමුක්තිය සදහා ජාතිකවාදය මත පදනම් වෙමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක ගොනු වුණි.

Champika - pic Indika Handuwela: Sunday Timesජාතිකවාදය එහි කෝෂාර්ථයෙන් අර්ථ දැක්වෙන්නේ ධනපති පන්තිය තුළය. ලෝකයේ සාර්ථක ජාතිකවාදී ව්‍යාපාරයක් ඇත්නම් එය පදනම් වී ඇත්තේ ධනපති පන්තිය මතය.නමුත් ගෝලීය ප්‍රාග්ධන ව්‍යාප්තිය හමුවේ තවදුරටත් පවුරු පදනම් තුළ සීමාවීමට ධනපති සමාජයට නොහැකි වුණි. පටු බෙදීම් ඉවත ලා ගෝලීය අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමට යෑමේ ප්‍රථිපලය වූයේ ජාතිකවාදී මතයන් දැරූ සමාජ කොටස් ලාංකික ධනපති පන්තිය හැර යෑමයි. ධනපති පන්තයෙන් ගිලිහී ගිය ජාතිකවාදී මතය දෝතීන් බදා ගත්තේ අතරමැදි පන්තිය වීම ලාංකික සමාජ අර්බුදයේ උභතෝකෝටීකයයි. යම් ජාතියක ස්වයං සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රයත්නය මතවාදීව සූත්‍ර ගත කිරීම එම ජාතියේ ජාතිකවාදයයි. ඒ අනුව පටු බේදයන් ඉක්මවා සමස්ත ජාතිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ධනපති පන්තියට පමණි. එම මතවාදය අතරමැදි සමාජ ස්ථර කරා ආ විට පන්ති ස්ථරයේ සමාජ වගකීම් එකිනෙකින් වෙනස් නිසා අතර මැදි පන්තිය කටයුතු කරන්නේ පුළුල් ජාතිකවාදය ඉක්මවා ගිය පරමාර්ථයෙනි. ඒ නිසා ජාතිකවාදය වර්ගවාදී අගු පිල් කරා ඇදී යෑමත් පටුවීමත් තාර්කිකය. ඒ අර්ථයෙන් ජාතිකවාදය යම් සමාජ කාර්යභාරයක් ඉෂ්ඨ කරන්නේ ධනපති පන්තියයේ ග්‍රහණයට එය ලක් වූ විට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට මූලික වූ කුරුණෑගල මන්ත්‍රී එච් ශ්‍රී නිස්සංක සිංහල ජාතියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී අයෙකි. එසේම හොරණ මන්ත්‍රීවරයා වූ විල්මට් ඒ පෙරේරා ද දණ්ඩගමුව මන්ත්‍රීවරයා වූ අයි එම් ආර් ඊරියගොල්ල ද සිංහලයන් වෙනුවෙන් පෙනී සිටී දේශපාලකයන් ය. මේ මන්ත්‍රීවරුන් සැමදාම කතා කළේ සිංහල ජාතියේ අභිවර්ධනය වෙනුවෙනි. නමුත් ඔවුහු වෙනත් ජාතියක අයිතීන් කප්පාදුවක් වෙනුවෙන් කිසි දා පෙනී සිටීයේ නැත. ඒ නිසා පුරවැසිකම් පිළිබද විශේෂ විධි විධාන පනත ගෙන ආ විට ඊට මේ මන්ත්‍රීවරුන් එදා විරුද්ධ වූයේ අදාළ පනත මගින් නීතියේ මූලික පදනමට අභියෝග එල්ල වෙන බව ප්‍රකාශ කරමිනි. එම පනතට පක්ෂවෙමින් ද ඇති තරම් වර්ගවාදී පිළිකනුවල ලගිමින් ද කටයුතු කිරීමට මේ මන්ත්‍රීවරුන්ට හැකි වුවද ඔවුන් එසේ නොකළේ ඒ නිසා සිංහල ජාතියට විශේෂ වාසියක් අත් නොවන බව දන්නා බැවිනි.ඒ අර්ථයෙන් සිංහල ජාතිකවාදය අතීතයේ දී පදනම් වී තිබුණේ ධනපති සමාජ ස්ථරය අතර බව ප්‍රකාශ කළ හැකිය. ඒ නිසා ජාතිකවාදයේ හැසිරීමට, වඩා විදග්ධ පදනමක් තිබුණි. අද සිංහල ජාතිකවාදය පදනම් වී ඇත්තේ අතරමැදි පන්තිය මතය. ඒ නිසා එය සිංහල බෞද්ධ වර්ගවාදයක් ලෙස පෙනී යෑම පුදුමයක් නොවේ. එය මෙම යුගය තුළ ජාතිකවාදයේ දෘෂ්ඨිවාදී ගැටලුවකි.

සිංහල ජාතිකවාදය යැයි කියා ගන්නා සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මේ වනවිට පත්ව ඇත්තේ ඉතිහාසයේ හාස්‍යජනකම තත්ත්වයට ය. හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ සහායෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ මිලිටරි බලයේ හයියෙන් ශක්තිමත් යෝධයකු බවට පත්ව සිටි සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය අද පවතින තත්ත්වයට පත්වූයේ පසුගිය ජනාධිපතිවරණයෙන් සිදුවූ බල කේන්ද්‍රයේ වෙනස නිසාය. රාජ්‍ය බලය අහිමි වූ තත්ත්වය තුළ පැවැත්ම සදහා පදනමක් නොමැති මතවාදයක් ලෙස සමාජය ඉදිරියේ දුර්වල වෙමින් පවතී. එහි තර්කානුකූල විනිශ්චය වන්නේ රාජ්‍ය බලයේ ගැම්ම නොමැතිව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට නැගී සිටිය නොහැකි බවයි.

ඒ අර්ථයෙන් ජාතික හෙළ උරුමය තාර්කික පසු විපරමක් කරමින් ජාතිකවාදයේ දේශපාලන පෙළ ගැස්ම නැවත සකස් කර ගැනීමට උත්සාහ දරන්නට පටන් ගත්තේ දැනට දෑ අවුරුද්දකට පමණ පෙරදී ය. ඒ අනුව ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සිංහලබෞද්ධ සීමාන්තික තත්ත්වයෙන් ඉවතට ගනිමින් ධනේශ්වර රාමුවක ආර්ථික අවශ්‍යතාවන්ට හානිදායක නොවන ලෙස පෙළ ගැස්වීමට උත්සාහ ගනිමින් තිබුණි. එහි තර්කානූකූල අවසානයක් කරා තවමත් ඒ පක්ෂය පැමිණ නැතත් එහි පසුවිපරම හා අලුතින් පෙළ ගැස්ම අගය කළ යුත්තකි. සිංහල ජාතිකවාදී ව්‍යාපාරය පෙනී සිටීය යුත්තේ සිංහලයන්ගේ සැබෑ අයිතීන් හා උරුමය වෙනුවෙන් මිසක් අනෙකාගේ අයිතීන් හා උරුමයන් කොල්ල කා ගැනීමට නොවේ. ඒ අනුව ජාතියක් ලෙස නැගී සිටීමට අනෙකුත් සියළු බෙදීම් ඉවත ලා කටයුතු කළ යුතුය. එවැනි ජාතිකවාදී ව්‍යාපාරයක මතවාදී අවශ්‍යතාවක් සමාජය තුළ පවතින බව නොරහසකි. එහෙත් සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ශක්තිමත්ව නැගී සිටීමට නම් එය සිංහල ධනපති පන්තිය මත පෝෂණය වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. Published on Colombo Telegraph 28/03/2015

සිරිකොත ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදය හා වල්බූරු නිදහස.

පසුගිය බදාදා උදෑසන එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ආ පිරිසක් සමග එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ගැටුමක් ඇතිකරගෙන තිබුණි. එම සිද්ධිය ආරංචි වූ සැනෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අපූරු අදහසක් තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
”මෙම ගැටුම කෙසේ සිදුවූවාදැයි තවම නොදනිම්. එසේ වුවත් මේ උද්ඝෝෂණය කළ පිරිසට එජාප මූලස්ථානයේ සිටි අය බාධාකළා වීම බොහෝ දුරට විය හැක්කකි. එය එසේ වූවානම් එය මුලුමනින්ම වැරදි ක්‍රියාවකි. මේ උද්ඝෝෂණය තනිකරම ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව ඇත්තක් වුව ද එය සිදු තිරීමට ඒ අයට අයිතිය ඇත. ඒ අයිතිය ප්‍රතික්ෂේප කරමින් ඊට බාධා කිරීම යනු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට ඇති සදාචාරමය අයිතිය දුර්වල කර ගැනීමකි.”
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණ අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන සමග ඇතිකර ගෙන ඇතැයි කියවෙන රහස් ගිවිසුමක් පිළිබද කරුණු රැසක් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක විසින් පසු ගිය දා හෙළිකිරීමත් සමග ඒ සම්බන්ධයෙන් ගනුදෙනුවක් බේරා ගැනීමට මෙම පිරිස සිරිකොත අසලට පැමිණ සිටියහ. ඇත්තටම ගිවිසුම විනාශකාරි හා ගැටළු ඇති කරන්නක් නම් එය දේශපාලනික කාරණාවක් නිසා ගනුදෙනුව බේරා ගත යුත්තේ රටේ ජනතාව සමග ය. එනම් විනාශකාරී ගිවිසුමක් අත්සන් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ජනාධිපති පොදු අපේක්ෂකයාට ලබා නොදෙන ලෙස  සමාජයට කියමින් ඒ සම්බන්ධයෙන් වූ මතයක් ඇති කළ හැකිව තිබුණි.
විනාශකාරී ගිවිසුමක් අත්සන් කර ඇතැයි චෝදනා එල්ලවීමත් සමග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන ඒකාබද්ධව ප්‍රකාශ කළේ එවැන්නක් අත්සන් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ය. තිස්ස අත්තනායක විසින් හෙළිකළ එම ගිවිසුම විමසිල්ලෙන් කියවන්නකුට ඒත්තු යන්නේ එකී ක්‍රියාවම සැක සහිත කරුණු වලින් පිරි හුදු දේශපාලන නිග්‍රහයක් කිරීමේ අරමුණෙන්  නිර්මාණය කරන ලද්දක් බවය.
තිස්ස අත්තනායකගේ චෝදනාව සම්බන්ධයෙන් මේ උද්ඝෝෂකයන්ට කිසිම සැකසහිතභාවයක් ඇති නොවීම පුදුම සහගතය. හිටපු යූ.එන්.පීකාරයකු පක්ෂය මාරු කළ සැනෙන් කරන ප්‍රකාශයක් ගැන සැක නූපදන මෙම පිරිස අඩු වශයෙන් විපක්ෂනායකයා හෝ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කරන ප්‍රකාශයන් හෝ සැළකිල්ලට ලක්කරන්නේ නැත. එමෙන්ම එවැනි ගිවිසුමක් සම්බන්ධයෙන් කළ යුතු පරිදි නීතියේ පිහිට පැතීම හෝ ජනාධිපතිවරණයේ දී සමාජයේ අවධානයට එය ලක් කිරීම හෝ නොකිරීම නිසා උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් ඇති වන්නේ සැකයකි. ඔවුන්ගේ අරමුණ සත්භාවී නොවන බවත් පටු පක්ෂ දේශපාලන අරමුණකින් යුක්ත බවත් පැහැදිලි වේ.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි සමාජය තුළ පැවතිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ හසර තුළ ඒ උද්ඝෝෂකයන්ට ද තම කටයුතු වලට නිදහසක් තිබිය යුතුය. උද්ඝෝෂණය මුළුමනින්ම ප්‍රකෝපකාරී ක්‍රියාවක් වුවද උදඝෝෂණය සිදුකිරීමට ඔවුන්ට අයිතියක් ඇත. ඒ අයිතිය ප්‍රතික්ශේප කරමින් ඊට බාධා කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට ඇති සදාචාරමය අයිතිය දුර්වල කිරීමකි.ප්‍රජාතන්ත්‍රවාදය සාපෙක්ෂ හෝ නිරපේක්ෂ මිනුම් දණ්ඩෙන් මැනීම මූලික වරදක් වන බව පවසන ආචාර්ය නිර්මාල්, ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රතිමානයක් බැවින් ඊට අයත් ගුණාංගයන්ට ගරු කළ යුතු බව පවසයි. ඔහුගේ තර්කයේ මූලික පදනම එම කරුණ යැයි හැගේ.
සිරිකොත අසල ඇතිවූ ගැටුමට මුල් වූ උද්ඝෝෂණය මගින් උත්සාහ දැරුවේ  පටු පක්ෂ දේශපාලන අරමුණක් සත්භාවී නොවන අන්දමින් ජයග්‍රහණය කර ගැනීමටත් එමගින් ප්‍රතිවාදියාට පහරක් එල්ල කිරීමටත් බව පැහැදිලි ය. ඒ අනුව උද්ඝෝෂකයන් උත්සාහ දැරුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිදුරු තුළින් රිංගා යෑමට ය. මගේ තර්කය වන්නේ සමාජයට හානිකර අන්දමින් පැන නගින එවැනි උද්ඝෝෂණයන්ටත් ඉඩක් ඇත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සංවර්ධනයට දායක වන්නක් නොවන බවය.
එමගින් කියවෙන්නේ තමන් පිළිනොගන්නා හා තමන්ට ඉවසීමට නොහැකි ප්‍රතිවාදී විරෝධයන් මර්දනය කළ යුතුය යන සරල අදහස නොවේ. සද්භාවී නොවන විරෝධයකට පිළිතුරු දීමට ද සමාජයට ඉඩක් ඇති බවත් සමාජ මැදිහත්වීමක් තුළින් එම විරෝධයේ බොරුව හෙළිදරව් කළ යුතු බවත් එමගින් කියවේ.
මෙම තර්කය පාර්ශ්වික ලෙස දැකීමෙන් එය අවබෝධකර ගැනීම උගහට ය. සිරිකොත ඉදිරිපිට එකසත් ජාතික පක්ෂ විරෝධීන්ගේ උද්ඝෝෂණයක් ලෙස නොව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට එජාප පාක්ෂිකයන් කරන්නා වූ උද්ඝෝෂණයකට වුවද මගේ තර්මක අදාළ ය. උද්ඝෝෂණයක් මගින් විරෝධය දැක්වීමට නිදහස තිබිය යුත්තේ එම විරෝධයට සත්භාවී පදනමක් ඇත්නම් පමණි. එම සත්භාවය විමසීමට උද්ඝෝෂකයන්ට ඇති අයිතියටම සමාන අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළ තිබිය යුතුය.
මේ සම්බන්ධයෙන් අගනා ආදර්ශයක් පෙන්වූයේ එවකට හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ යි. 1993 දී පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය වැඩි ආසන ගණනක් දිනා ගත්ත ද පාලන බලය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ආණ්ඩුකාරවරයා නොපෙළඹුණි. එහිදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුකාරවරයා හමුවීමට බලෙන් ගිය  ඒකාබද්ධ විපක්ෂය ඔහු ලවා අමරසිරි දොඩන්ගොඩ ප්‍රධාන අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ගත්තේ බලහත්කාරයෙනි. එහෙත් මහින්ද රාජපක්ෂගේ එකී ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට පරස්පරය. නමුත් මහින්දගේ එම ක්‍රියාවට ආණ්ඩුකාරවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන හැසිරීමෙන් සමාජ වලංගුභාවයක් ලබාදුනි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ”ධාතු කරඩුවක්” නොවන බවත් භාවිතයට ගත යුතු මෙවලමක් බවත් පැහැදිලි ලෙස අර්ථදක්වා ඇත්තේ මෙවැනි ප්‍රායෝගික භාවිතාවන් තුළිනි. එහෙත් යම් මහජන විරෝධයක් සත්භාවී ද පටු අරමුණකින් යුක්ත ද යන්න තීන්දු කිරීම සාපෙක්ෂ ය. එය ඇත්තටම විවාදසම්පන්න ය. සිරිකොත ඉදිරිපිට ඇති කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ද එවැනි ගැටළුවක් පැන නගී. නමුත් ඒ ගැටළුව සමාජය විසින්ම විසදන්නකි.
 පොදු විපක්ෂය අත්සන් කළා යැයි කියන මෙම ගිවිසුම සම්බන්ධයෙන් සැකයක් යම් පර්ශ්වයකට ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය දැක්විය යුතු අවස්ථා හා ඉඩ කඩ අවශ්‍ය තරම් පවතී. පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට බල කළා නම් හෝ කොටුව ස්ටේෂම අසල උද්ඝෝෂණය පැවැත්වූවා නම් හෝ මෙවැනි ගැටුමක් ඇතිවන්නට ඉඩක් නොමැත. එහෙත් උද්ඝෝෂකයාගේ පටු අවශ්‍යතාව ඔවුගේ හැසිරීම තුළින්ම පැහැදිලි වීම මෙහි ඇති විශේෂත්වයයි.
ප්‍රජාතන්තවාදය හෝ යහ පාලනය හෝයනු නිවසට ඇතුළුවී නිවසියන්ට පහරදෙන තෙක් ඉවත බලාගෙන සිටීම නොවන බව පැහැදිලි කිරීමේ අභියෝගය පොදු විපක්ෂයට නොවේ නම් මෙවැනි ගැටළු හමුවේ දුෂ්කරතාවට පත්වීම නොවැළැක්විය හැකිය. එහෙත් මේ මොහොතෙදීත් එවැනි අභියෝගයක් භාරගත හැකි ශක්තියක් හෝ ඊට මුහුණදිය හැකි පෞර්ෂයක් හෝ ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි වේ. නමුත් මා ඉහත දී උදාහරණයට ලක් කළ පරිදි බලහත්කාරයෙන් ගොස් ආණ්ඩුකාරවරයා ලවා දිවුරුම ලබා පළාත් සභාවේ බලය ගැනීමට මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් අවස්ථාවේ එවැනි පෞර්ෂයක් එදා පොදු විපක්ෂය විසින් ගොඩනගා ගෙන තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස හා සාධාරණත්වය ඇත්තේ මුද්‍රිත අකුරු තුළ නොව ප්‍රායෝගිකත්වයේ බව තේරුම් නොගන්නා තාක් ” ප්‍රජාතන්ත්‍රවාදය” එකිනෙකට පරස්පර අතාර්කික අර්ථයක් ජනනය කරන්නා වූ සාර ගුණයකින් යුතු ප්‍රපංචයක් පමණක් බව කිව යුතුය.
කේ.ජී.පිලිප් ශාන්ත
shan.info1978@gmail.com    (Published on Colombo Telegraph at 25/12/2014)

බලව්‍යුහයේ කඩා වැටීම හා අලුත් බල කේන්ද්‍රයක ගොඩනැගීම

2005 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතිශයෙන් වැදගත් වන කරුණු කිහිපය අතර ලාංකික සමාජයේ සංස්කෘතික සාධකයට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. එය සරළව පැහැදිලි කළහොත් එතෙක් සැගවුණු අශිෂ්ඨ මානව ලක්ෂණයක් ලෙස ග්‍රාම්‍යව පැවැති ඒකීයවාදී සිංහල බෞද්ධ සීමාන්තික දේශපාලන මතවාදයට නිල වශයෙන් රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් යැයි කිව හැකිය.

 රාජපක්ෂ රෙජීමය මේ දක්වා සුවිසල් මැතිවරණ ජයග්‍රහණයන් ලැබුවේ ද සමාජයේ මේ ධ්‍රැවීකරණය වූ දේශපාලන සීමාන්තිකයන් පෝෂණය කරමිනි. සිංහල බෞද්ධ රාජ්‍යයේ පැවැත්මට භොතිකව අභියෝග කළ අයෝමය සතුරා වෙල්ලමුල්ලවෙක්කාල් වැල්ලේ දී නිහඩ වූයේ අලුත් සතුරකු නිර්මාණය කරමින් යැයි පැවැසිය හැකිය. යුද්ධය මනා ලෙස කළමනාකරණය කරමින් ඒ ගමනේ කූට ප්‍රාප්තියට ආ රාජපක්ෂ රෙජීමයට දැන් අලුත් සතුරකු නිර්මාණය වී තිබේ. 2010 දී අලුත් සතුරෙකු නිර්මාණය වූ අතර 2014 දී වෙනත් සතුරෙකු නිර්මාණය වී තිබේ. පළමු සතුරා මිලිටරමය වූ අතර දෙවැනි සතුරා දේශපාලනික වීම රෙජීමයට වඩා භයානක අත්දැකීමක් වී ඇත. යුද්ධයේ අඛණ්ඩ පැවත්ම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය විසින් ආමන්ත්‍රණය කළ  සමාජ තීරුව මේ වනවිට දෙකට බෙදෙමින් පවතින අතර එහි වගකීම රෙජීමයේ අලුත් සතුරාට හිමිවන බව නොකිවයුතුමනාය.

ලාංකික සමාජය අලුත් දේශපාලන මානයන්ගෙන් ධ්‍රැවීකරණය වනවිට ඒ දේශපාලන බලමුළු ගැන්වීමට අභියෝග කිරීමට සමත් ශක්තිමත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් මෙරටේ නොතිබුණි. සමාජ බලයක් හිමි සියළු දේශපාලන ව්‍යාපාර රෙජීමයේ මතවාදයම පුනරුඡ්චාරණය කළහ. නැතහොත් එය යථා පරිදි නියෝජනය නොකරන්නේ යැයි රෙජීමයට චෝදනා කරමින් එම මතවාදයේ සැබෑ නියෝජිතයා වීමට උත්සාහ ගත්හ. ඒ අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍යය හා එක පෙලට සිට ගනිමින් රෙජීමය ආමන්ත්‍රණය කරන සමාජ තීරුවේ වඩා ශක්තිමත් නියෝජනය සදහා පොර බැදුනහ. දැන් ඒ සටන අභියෝගකාරී අවසානයක් කරා එමින් පවතී. ඒ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ ප්‍රබල ඇමතිවරයකු වූ මෙත්‍රීපාල සිරිසේන බල කේන්ද්‍රයෙන් ඉවතට ගනිමින් නව බල කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට විපක්ෂ සංධානයට හැකිවීම සුවිශාල ජයග්‍රහණයකි.

ලාංකික දේශපාලනයේ මතුවී එන මේ ප්‍රවනතා සම්බන්ධයෙන් සමගාමී බවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ගෝලීය දේශපාලන හැසිරීම් අතර පවතින බවක් මෙතෙක් දක්නට නොලැබුණි.  වරක් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් යුද්ධය කාලයේ සිදුවූ විශාල මිනිස් ඝාතන ඇතුලත් මානව හිමිකම් කඩ කිරීම් ගැන බරපතල චෝදනාවක් එල්ල කළේ ය. එහෙත් ඒ දිනවලම ශ්‍රී ලංකා රාජ්‍යයට ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් විසදා ගැනීමට විශාල මූල්‍ය පහසුකමක් ලබාදුන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලාංකික සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවීම රටේ ආර්ථික ස්ථාවරත්වයට හානිකර යැයි ප්‍රකාශ කළේය. බලය බෙදීමේ ශක්තිමත් දේශපාලන යෝජනාවක් ගෙන එන්නෙමියි කියමින් රාජපක්ෂ රෙජීමය විසින් ඉන්දියාව නොමග යැව්ව ද පසුගිය කාලය පුරා ඉන්දීය මධ්‍යම රජය උත්සාහ ගත්තේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට රාජපක්ෂ රෙජීමයෙන් යම් සහනයක් ලබා දීමටය. ඒ අනුව ලාංකික දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් මානවවාදී හැගීමක් හෝ සමාජ සාධාරණය සම්බන්ධයෙන් අවංක හැගීමක් හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වන විදෙස් ප්‍රජාවනට ඇතැයි පැවසිය නොහැක.

ගෝලීය දේශපාලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි තීන්දු තීරණ ගන්නේ ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට හානි වන්නේ නම් පමණක් යැයි නිරීක්ෂණ ඇසුරින් පැවසිය හැකිය. නො එසේනම් ඔවුන් තුළ මතුවන්නේ අපැහැදිලි, එකිනෙකට පරස්පර, ආත්මාර්ථකාමී හා අශිෂ්ට අදහස් ගොන්නකි. ලාංකික සමාජයේ දේශපාලන නැඹුරුව කෙසේ විය යුතුද යන්න හා දේශපාලන සැකැස්ම කෙසේ ස්ථානගත විය යුතු ද යන්න සම්බන්ධව මේ මොහොතේදී ත් ගොලීය දේශපාලනයට ශක්තිමත් හා පැහැදිලි දැක්මක් නොපවතී. එහෙත් ප්‍රබල බටහිර රටවල් කිහිපයක්ම රෙජීමයේ වෙනසක අවශ්‍යතාව දකිමින් බලාපොරුත්තු සහගත අපේක්ෂාවෙන් සිටිති.

ලාංකීය දේශපාලන සමාජ සංවර්ධනයේ පලදායි මැදිහත්වීමකට ගෝලීය දේශපාලන බලධාරීන් පෙළඹෙන්නේ නැත. ඒ ඔහුන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් නොමැති බැවිනි. ගෝලීය බලධාරීන්ට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා භූමියේ සන්සුන්තාවයි. ඒ හැරෙන්නට මානවවාදී හැගීමක් ලාංකික දේශපාලනය සම්බන්ධයෙන් ඔහුන්ට ඇතිවන්නේ නැත. නමුත් ප්‍රාග්ධනය පොම්ප කරමින් ක්‍රමයේ පැවැත්ම රුක ගැනීමට ද ක්‍රමයේ තුල්‍යතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් දේශපාලන නායකත්වය මාරු කිරීමට ද ඔවුහු පසුබට නොවෙති. මේ මොහොතේ දීත් ගෝලීය බලධාරීන් ඉන්නේ එවැනි ස්ථාවරයකය යන්න වඩාත්ම පැහැදිලි කරුණකි.

රාජපක්ෂ රෙජීමයේ සමාජ සම්මුතීන් අනුව පුළුල් ශ්‍රී ලාංකික සමාජ කණ්ඩායම ආමන්ත්‍රණය කිරීමට එයට නොහැකිය. යම් යම් පුද්ගල සාධකයන්ට ඒ සදහා අවශ්‍යතාවක් තිබුණ ද රෙජීමයේ පදනම් සමාජ තීරූන් හා එකගතාවක් නොමැතිව අවශ්‍යතා තෘප්ත කරන්නට යෑම ප්‍රති විරෝධතා ඇති කිරීමට හේතු වේ. නො එසේනම් රෙජීමය නැවත ස්ථාන ගත වීමක් මගින් අලුත් සමාජ සම්මුතීන් කරා ගමන් කළ යුතුය. මේ මොහොතේ සිදුවන දේශපාලන පෙල ගැස්වීම් අනුව මේ කිසිවක් කිරීමට රාජපක්ෂ රෙජීමය අසමත් වේ. එසේනම් විවරවන සමාජ දේශපාලන ඉඩකඩ හමුවේ පොදු විපක්ෂ බලවේගයට පැවරී  ඇත්තේ සුවිසල් අභියෝගයකි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් ලබාදීමේ දී පුළුල් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එය සිංහල බෞද්ධ සමාජ තීරුවේ සීමාවන් ඉක්මවන දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජාතීන් ද සතුටට පත් කරන්නා වූ වැඩ පිළිවෙලකින් පරිපූර්ණ විය යුතුය. පොදු විපක්ෂ බලවේගයට එවන් හැකියාවක් ඇත්නම් එය සතුටට කරුණකි. එහෙත් පොදු විපක්ෂ බලවේගයේ සමාජ පදනම් පටු අභිලාෂයන්ගෙන් පරිපූර්ණ සරළ දැක්මකින් යුක්ත වන අතර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතල තීන්දු ගැනීමකට යෑමට තරම් මෝරා නැත. ධ්‍රැවීකරණය වූ දේශපාලන තත්ත්වයන් තුළ විකල්ප දේශපාලන කණ්ඩායම් ද මේ විෂය සම්බන්ධයෙන් අවලංගු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ රික්තය තුළ පීඩිත ජාතීන් නැවත හුදකලා වන අතර වර්ගවාදී මහ ජාතිවාදී දේශපාලන බල මුළු ගැන්වීම් මත පරපෝෂිතයකු ලෙස අවස්ථාවාදය වැළද ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුන්ට ඉතිරි නොවේ. මහ ජාතිවාදී ලෙස සිංහල සමාජය ධ්‍රැවීකරණය වීමත් පීඩිත ජාතීන් හුදකලාවීමත් නැවතත් ලාංකික දේශපාලනය හැල හැප්පීම් වලින් ගහණ ප්‍රති විරෝධතාවන්ගෙන් යුත් වඩා සුවිශාල අර්බූදයකට තල්ලු කරයි.

මේ සම්බන්ධයෙන් වඩා පුළුල් හා සාරගර්භ සංවාදයක් ආරම්භ කිරීමට නම් ශක්තිමත් ධනපති ච්න්තකයන් ලාංකික දේශපාලන භූමියේ සිටිය යුතුය. එහෙත් ඒ තබා ශක්තිමත් ධනපති පංතියක් වත් ශ්‍රී ලංකාවේ නොමැත. ධනපති පාලකයන් හා කේවල් කළ හැකි ශක්තිමත් වාමාංශයක් ද නොමැතිවීම වඩා කණගාටුදායකය. මේ තත්ත්වය තුළ තවත් සැලකිය යුතු කාලයක් ලාංකික දේශපාලනය අයාලේ යෑම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි කරුණකි.

වෙන කවර අවස්ථාවකටවත් වඩා ප්‍රබල ලෙස රාජපක්ෂ රෙජීමයේ බල හෙජමොනියට අභියෝග කිරීමට විපක්ෂ බලවේගයට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදී ඉසව්වකින් බැලූ විට ජනතා ජයග්‍රහණයකි. විධායක ජනාධිපති ක්‍රමය වඩා ශක්තිමත් කළ ව්‍යවස්ථාදායකයේ 2/3ක බලය මේ වනවිට අහිමි වීම ඒ අතුරින් ප්‍රබල කරුණකි. එමෙන්ම රෙජීමය බිද හෙළිය හැකි එකක් යැයි ජන මනස තුළ ශක්තිමත් හැගීමක් ඇතිවීම තවත් කරුණකි. මේ සියල්ල කළ හැකි වූයේ මෙත්‍රීපාල සිරිසේන නැමැති දේශපාලන සාධකය නිසා ය.

1978 විධායක ජනාධිපති ක්‍රමය මගින් ස්ථාපිත දේශපාලන සංස්කෘතිය තුළ රෙජීම් මාරු කිරීම දුෂ්කර කටයුත්තකි. විපක්ෂ බලවේග මුළුමනින්ම අක්‍රිය කරන සාධක විධායක ජනාධිපති ක්‍රමය තුළ ඇති නිසා රාජ්‍ය පාලනයේ දී ඇති වන්නේ ”වන් හෝස් රේස්”’ එකකි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවත් බොහෝ විචාරකයන් රාජ්‍යයේ ස්ථාවරත්වය ලෙස දුටුවේ එයයි. එහෙත් එහි ප්‍රතිවිරෝධය ක්‍රමය තුළම ගැබ්ව තිබීම හාස්‍යජනක කරුණකි. 1994 දී ත් 2015 දී ත් විපක්ෂ බලවේගයන්ට රාජ්‍ය බලය ගැනීම සදහා ශක්තියක් ලබාදෙන්නේ රාජ්‍යය මෙහේය වන කණ්ඩායමේ  අභ්‍යන්තර පුපුරා යෑම් ය. දේශපාලනික පරිවර්තනයක් සදහා බාහිර ශක්තියක් ඇත්නම් ඇත්තේ විදේශ බලවේගයන්ට පමණි. 

කෙසේ හෝ මෙත්‍රීපාල සිරිසේන විසින් රාජපක්ෂ රෙජීමයේ බලව්‍යුහයට එල්ල කළ අභියෝගය ප්‍රශංසනීය මට්ටමේ පවතී. පෙළ ගැස්වෙන කාරණාවන් අනුව ප්‍රබල දේශපාලනික පරිවර්තනයක් රටේ ඇති කිරීම සදහා රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත්‍රයන් තවදුරටත් බාධා නොකරන බව ස්ථිරය.

කේ.ජී. පිලිප් ශාන්ත

shan.info1978@gmail.com         (Published on Colombo Telegraph at 21/12/2014)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

ගොඩක් කඩතොළු හදා ගැනීමක් ද?imagesජේෂ්ඨ දේශපාලනඥයකු වූ ටී.බී. ඉලංගරත්නගේ ස්වයං චරිතාපදානය කියවූ විට මා සිත් ගත් කාරණය වූයේ 1956 ආණ්ඩුවේ අගමැති වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් තබා ඇති සටහනයි. බණ්ඩාරනායකගේ අමාත්‍ය මණ්ඩලය වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් බෙදුනු මොහොතක ඔහු විසින් භෝජන සංග්‍රහයකට කරන ලද ආරාධනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ දක්ෂිණාංශිකයන් දැක්වූ ප්‍රතිචාරයක් ඒ යුගයේ රාජ්‍ය පාලන ව්‍යුහය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයක් සදහා පාඨකයා යොමු කරයි.

ඉලංගරත්න පවසන පරිදි තම අගමැති වූ බණ්ඩාරනායකගේ භෝජන සංග්‍රහය සදහා වූ ආරාධනාවට දක්ෂිණාංශික අමාත්‍යවරු ප්‍රමාද වී පැමිණ ඇත්තේ ප්‍රතිපත්තිමය විරෝධයක් සංකේතාත්මකව ප්‍රකාශ කිරීමටයි. ඒ වනවිට කල් ඇතිවම පැමිණ සිටි වාමාංශික අමාත්‍යවරුන් පැහැදිලිවම තේරුම් ගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයා දක්ෂිණාංශිකයන්ගේ විරෝධයෙන් කේන්තියට පත්ව ඇති බවයි. එහෙත් ” ආ… උබල පරක්කු වුනා ද? කා පල්ලකො එහෙනම් දැන් මගේ බත්” යන සුළු වචන කිහිපයකින් ඒ කේන්තිය නිවා ගැනීමට බණ්ඩාරනායකට සිදු වූ බව ඉලංගරත්න පවසයි. තමන්ට එකග නොවන මත ගැටුම් සහිත අමාත්‍යවරුන් පාලනය කිරීමට දැඩි පියවර ගැනීමක් එදා සිදු නොවූ බව තත්ත්වය විග්‍රහ කරමින් ඉලංගරත්න   අවධාරණය කරයි.

එහෙත් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යුහයම පැවති 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ හැසිරීම ඊට වඩා අත්තනෝමතික වූ බව 1971 කැරැල්ල මර්දනයේ ලා ආණ්ඩුව ගත් පියවරයන් විග්‍රහ කිරීමේ දී පෙනී යයි. විශේෂයෙන් අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක “කිචන් කැබිනෙට්ටුවක්” මගින් තීන්දු තීරණ ගත් බව පොදු මතයකි. ඒ කිචන් කැබිනෙට්ටුවේ චණ්ඩියා වූයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ ෆිලීක්ස් ඩයස් බණ්ඩාරනායකයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආවරණයක් තිබූ අතර ව්‍යවස්ථාදායකයට වග කියන අගමැති ප්‍රමුඛ පාලන ව්‍යුහයක් තිබූ නිසාම ආණ්ඩුවේ අත්තනෝමතික ස්වභාවය සීමා නොවුණි. පාලන ව්‍යුහය හා නීතිමය රාමුව ආණ්ඩුවේ හැසිරීම පාලනයේ ලා ප්‍රබල සාධකයක් වුවද ඊට වඩා කාර්යභාරයක් ඉටු කරමින් අත්තනෝමතික ස්වභාවයට දායක වන්නේ සමාජයේ දේශපාලන සංස්කෘතිය යැයි කිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන සංකල්පයක් ලෙස ගත් විට එය ලාංකික සමාජයට සංස්කෘතිකව බද්ධ වූ යමක් නොවේ. ඉතිහාසය පුරා ලාංකික සමාජය පාලනය වී ඇත්තේ රජ කෙනෙකුගේ කැමැත්තට වන අතර විදේශ ආක්‍රමණිකයන්ගේ පාලනයට යටත් වූ පසුව ද පාලන ස්වභාවය මුළු එකක් ලෙස ව්‍යුහාත්මකව වෙනස් නොවුණි. බටහිර සංකල්පයක් වූ නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ලාංකික සමාජය විසින් අත්දකින්නට පටන් ගත්තේ 20 වන සියවසේ මුල් කාල වකවානුවේ දී යැයි කිවහොත් නිවැරදි ය. එහෙත් රාජ්‍ය පාලන ස්වභාවය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කීව ද සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් වලින් දුරස්ථව සිටින නිසා රාජ්‍ය පාලනයේ දී ද එය එතරම් වටිනා සාධයක් ලෙස සමාජය සලකන්නේ නැති බව පෙනේ.harry-jayawardena

හැත්තාව දශකයේ දී ලෝකය පුරා හමා ගිය ධනේශ්වර ආර්ථික උපමාරු සදහා ගැලපෙන පාලන ව්‍යුහයක් ලාංකික ධනපති පන්තිය සොයමින් සිටියේ මේ තත්ත්වය තුළ ය. ඒ සදහා නායකත්වය දුන්නේ ප්‍රබල පන්ති ඉවක් තිබූ ජේ. ආර්. ජයවර්ධන විසිනි. එහෙත් ජයවර්ධන අපේක්ෂා කළ තරම් ව්‍යුහමය ගැටළු සමාජය තුළ නොතිබුණි. වෙනත් වචන වලින් කිවහොත් ගෝලීය ප්‍රාග්ධනය ලාංකික සමාජයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත කිරීමට අවශ්‍ය ශක්තිමත් බල ව්‍යුහයකට පදනම සමාජය තුළ තිබුණි. ඒ නිසා ඒකාධිපති පාලන ක්‍රමයක අත්තනෝමතික තීරණ, බලහත්කාරය හා අශිෂ්ඨකම සම්බන්ධයෙන් සමාජයේ පදනම් වලින් මූලික විරෝධයක් එල්ල නොවුණි. ” ධර්මිෂ්ඨ සමාජය” ග්‍රන්ථය ලියමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නායකත්වය දුන්නේ සමාජ පරිවර්තනයකට කොහොමත් විරුද්ධ වන වැඩවසම් හා ගතානුගතික සමාජ තීරුවට මිස නවීන සමාජයක් ගැන බලපොරුත්තු තබමින් ඉදිරියට යෑමට සටන් වදින දියුණු සමාජ තීරුවකට නොවේ. ඒ නිසා ජයවර්ධන විසින් මෙහෙයුම් නායකත්වය දුන් ගෝලීය ප්‍රාග්ධනයේ ලාංකික ආගමනයට මහාචාර්ය සරත්චන්ද්‍ර නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරය කිසිම බාධාවක් නොවීය.

සමාජය තුළ තිබූ සංස්කෘතික හැඩරුව ගෝලීය ප්‍රාග්ධන සංචලනයට හිතකර හා බාධාකාරී නොවූවද රාජ්‍යයේ ආකාරය හා නීති පද්ධතිය තුළ තිබූ යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී හැඩතල වෙනස් කර වඩා රළු ස්වරූපයකට ඒවා පත් කිරීමට ජනාධිපති ජයවර්ධනට අවශ්‍ය වුණි. ඒ සදහා ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ සංතුලනයට යටත් නොවන පාලන ව්‍යුහයක් හේ නිර්මාණය කළ අතර එය විධායක ජනාධිපති ක්‍රමය ලෙස හැදින්වුණි.

බැලූ බැල්මට විධායක ජනාධිපති ක්‍රමය ඒ හැටි රළු නොවේ. කෙනෙකු ඒ තනතුරට පත් කරන්නේ මුළු රටේම ජනතාවගේ ඡන්දයෙනි. පාර්ලිමේන්තුවට වගකිව යුතුය. ජනාධිපති ධූරයේ පැවැත්ම සදහා ප්‍රතිපාදන සකස් කර දෙන්නේ ව්‍යවස්ථාදායකය විසිනි. ඒ අනුව කෙනෙකුට පෙනෙන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගන්නා බවකි. අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් ඒ එම තනතුර දරන්නාගේ පෞද්ගලික ස්වරූපය නිසා වන්නකි. එහෙත් බැලූ බැල්මට පෙනෙන මේ චිත්‍රය ඊට හාත්පසින්ම වෙනස් බව තහවුරු වන්නේ විධායක ජනාධිපති ක්‍රමය මගින් ඇති කර ඇති හෝ නො එසේනම් ශක්තිමත් කර ඇති හෝ දේශපාලන සංස්කෘතිය මුළු එකක් ලෙස ආඥාදායක වන බැවිනි. ඒ ආඥාදායක ක්‍රමය ගෝලීය ප්‍රාග්ධනයේ සංචලනයට අවශ්‍ය බැවිනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමයේ සංතුලනයට නිර්මාණය කර ඇති සරල ආයතන මේ තනතුරේ ශක්තිය හා තේජස නිසාම අවලංගු වන අතර ඒ නිසා බැලූ බැල්මට පෙනෙන සංතුලන ආයතන හුදු මායාකාරී වී ගෝලීය ප්‍රාග්ධනයට අවශ්‍ය ආඥාදායකයා පමණක් ඉස්මතු කර අනෙක් සියළු රාජ්‍ය ව්‍යුහයන් අඩපණ කරයි. ඒ අනුව ව්‍යවස්ථාදායකය, අධිකරණය හෝ වෙනත් ආයතන ඇත්තෙන්ම නොපවතී.JR_Cartoon3

ඒ අර්ථයෙන් බැලූ විට විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කර ඇත්තේ හුදු ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් ඉක්මවන එහෙත් සමාජ දේශපාලන අවශ්‍යතාවක් හා ඒ සදහා වූ සමාජ පරිවර්තනයක් හා සමාන්තරව ය. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය රළු තනතුරක් යැයි ද එමගින් ඇති කරන්නේ සමාජයට හානිකර තත්ත්වයක් යැයි ද කියමින් සරල ලෙස එම තනතුර අහෝසි කිරීමට කටයුතු කිරීම බොළද ක්‍රියාවකි. මන්ද විධායක ජනාධිපති ක්‍රමයෙන් නිර්මාණය වූ ආඥාදායකත්වය අවශ්‍ය නම් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළින් වුවද නිර්මාණය කරගත හැකි බැවිනි. 1970 සමගි පෙරමුණු ආණ්ඩුව කටයුතු කළේ එවැනි ක්‍රමයක් ස්ථාපිත කර ගනිමිනි. 1956 දී අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක අසරණ වූ තරම් 1970 දී අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක අසරණ වූයේ නැත.

ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අඩංගු පාලන ව්‍යුහය එක්තරා සමාජ දේශපාලන ව්‍යාපාරයක අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ සමාජ දේශපාලන ව්‍යාපාරය මුළු එකක් ලෙස නොවූවත් උපමාරුවක් ලෙස දැන් වෙනස් වෙමින් පවතී. ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපය පුරා ඇතිවූ ආර්ථික අවපාතය සමග ධනේශ්වර ක්‍රමයේ උපමාරු කෙරෙමින් පවතී. එය සමාජවාදය කරා යැමට දරන උත්සාහයක් නම් නොවන බව අනිවාර්යය. එහෙත් ක්‍රමයේ පැවැත්ම සදහා ලෝක ධනේශ්වරය උපමාරූන් තෝරා ගැනීම අනිවාර්ය කරුණකි.

මහා සංස්කෘතියක් හිමි ඉන්දියාව කරා ගෝලීය ප්‍රාග්ධනය ගලා ගියේ රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරීමකින් තොරවය. ව්‍යවස්ථාදායක අගමැති ක්‍රමයේ ශක්තිය ඊට ප්‍රමාණවත් වූවා සේය. එවැනි උපමාරු තුළ ලාංකික ධනපති පන්තිය ද කටයුතු කරමින් පවතී. රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු හා එකග නොවන්නේ එබැවින් යැයි කිව හැකිය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ලාංකික ධනපති පන්තියට තවමත් ඉදිරි දැක්මක් නොමැත. වරෙක එය ඉවත් කිරීමට කතා කළත් තවත් වරෙක එය ඉවත් කර ඇති කරන්නේ කුමක්දැයි කනස්සල්ලෙන් විමසන්නේ ඒ උභතෝකෝටිකය නිසා ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පරණ ව්‍යවස්ථාදායක අගමැති ක්‍රමය කරා යෑම අර්ථ විරහිත ක්‍රියාවකි. ආඥාදායකත්වය සදහා කොයි ක්‍රමයත් එක වගේ යොදා ගැනීමට ප්‍රාග්ධනය ශක්තිමත්ව සිටී. ඒ නිසා ව්‍යවස්ථාදායක අගමැති ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ පෙරටුගාමී හෝ ඉදිරි දැක්මකින් යුත් රාජ්‍ය ක්‍රමයක් ඇති කරන්නේ යැයි කීම උගහට ය. කළ යුත්තේ මුළු එකක් ලෙස ආර්ථික, සමාජ දේශපාලන සංස්කෘතියම ව්‍යුහාත්මකව වෙනස් කිරීමට පියවර තැබීමයි.

විධායක ජනාධිපති ක්‍රමය මගින් ඇති කළ රාජ්‍යයේ ආකාරය ආඥාදායක වේ. ඒ අනුව රාජ්‍ය ප්‍රතිසංස්කරණයකින් තොරව ඒ ආඥාදායකත්වය වෙනස් කිරීම දුෂ්කර ය. ඒ නිසා සියළු බලය කේන්ද්‍ර ගතව ඇති රාජ්‍යයේ ඒකීය ස්වරූපය වෙනස් කරමින් එක්සත් රාජ්‍යයක් තුළ බලය බෙදන ව්‍යුහයන් ඇති කිරීමට සමාන්තරව විධායක ජනාධිපති ක්‍රමයේ බලය සැබෑ සංතුලන හා සංවරණ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතු වේ. සමාජයේ අනෙකුත් සියළු බල ව්‍යුහයන් අදිසි ලෙස තම හස්තය යටතට ගැනෙන “ආඥාදායක බල ස්වරූපය” අහෝසි කෙරෙන සියළු පියවරන් ගැනීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය සදහා වූ සංවරණ හා සංතුලන ව්‍යුහයන් ඇති කිරීම අර්ථ විරහිත ය. උදාහරණයක් ලෙස ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට තමන්ටම ආවේනික වූ ද  සැබෑ වූ ද ස්වාධීනත්වයක් ස්ථාපිත කිරීම  මෙන්ම විධායක ජනාධිපති ධූරයට පත් වන්නා දේශපාලන පක්ෂයක සමාජිකයකු වීම හා දේශපාලන පක්ෂ සමග බල ගනුදෙනු පැවැත්වීමෙන් වැළැක්වීම වැනි සීමාකාරී රාමූන් ඇති කළ යුතු ය. ඒ අනුව මගේ යෝජනාව වන්නේ ඒකාධිපති සමාජ දේශපාලන සංස්කෘතිය ව්‍යුහාත්මකව වෙනස් කරන ” ජනාධිපති පාලන ක්‍රමයක්” තුළ ප්‍රාදේශීයව රාජ්‍යයේ බලය බෙදී යන්නා වූ පාලන ක්‍රමයකට රාජ්‍යයේ ආකාරය වෙනස් කළ යුතු බවය. ඒ අනුව තවදුරටත් “විධායක ජනාධිපති ක්‍රමයක්” නොපවතින අතර තවදුරටත් “අක්‍රිය පළාත් සභා” ද නොපැවතිය යුතුය. ඒවායේ එකතුවකින් යුක්ත වූ “අලුත් රාජ්‍ය ආකෘතියක්”  ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් හිතකර වේ.

පවතින විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම පැවැති ව්‍යවස්ථාදායක අගමැති ක්‍රමය ද යල් පිනූ අවලංගු සංකල්පයන් ලෙස හැදින්විය හැකිය. එහෙත් ඒ සංකල්පයන් මගින් ඉස්මතු වූ දේශපාලන හරයන් හා වටිනාකම් වලට සමාජ වලංගුතාවක් පවතී. ගන්නා වූ තීන්දු තීරණ ව්‍යවස්ථාදායකයේ බලයට යටත් කිරීම මෙන්ම සුළු ජාතික මෙන්ම සුළු ආගමික සමාජ තීරූන්ට ජනාධිපති ක්‍රමයක් තුළින් ලැබෙන වටිනාකම ද අත්හල යුතු නොවේ. ඒ නිසා ඒ සියළු වටිනාකම් රැකෙන එහෙත් දේශපාලන ආඥාදායකත්වය අහෝසි වන අලුත් රාජ්‍ය ආකෘතියක් වඩා වලංගු වේ.

 

5. උතුරේ ගොඩනැංවෙන අලුත් බල කේන්ද්‍රය, රාජ්‍යයේ දැක්ම හා දේශපාලන විශදත්වය

election-3

දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් හෙම්බත්ව සිටි  සමාජයට නැවුම් බලාපොරුත්තු ඇති කළ තීරාණාත්මක මැතිවරණය වූයේ 1994 දකුණු පළාත් සභා මැතිවරණය යි. ඒ වන විටත් සුළුතර ජයග්‍රහණයකින් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති වී සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක ග්‍රාම්‍ය ජාතිකවාදී ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගිය මතයක් දරමින් ඉදිරියට එමින් සිටියා ය. විවෘත ආර්ථික ක්‍රමයට මානුෂික මුහුණුවරක් දෙමින් එය ප්‍රති සංවිධානය කළ යුතු බව ඇගේ අදහස වුණි.

තීරණාත්මක දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු ජනහමුව පිටිගල නගරයේ පැවත්වීමට සූදානම් කර තිබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක එම රැළියේ ප්‍රධාන චරිතය වුණි. අද තරම් වර්ගවාදීව ධ්‍රැවීකරණය වී නොතිබුණත් සම්ප්‍රදායික සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජය හමුවේ ඒ වනවිටත් ඈ පවසා තිබුණේ ෆෙඩරල් ආකාරයේ බලය බෙදා හැරීමකට ගොස් ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතු බවය. එහෙත් ඒ වේදිකාව අසල ඩෙනිමකින් හා ටී ෂර්ටයකින් සැරසුන බෑගයක් කරේ එල්ලා ගත් පාඨලී චම්පික රණවක ද දැවටෙමින් සිටියේ එදා දහවල් ජනතා මිතුරන්ට එල්ල වූ යූ.එන්.පී. මර්දනය ද නොතකමිනි. එපමණක් නොවේ.

පොදු පෙරමුණු පාලනයක් යටතේ ගොඩනංවන්නට යන ධනේශ්වර ව්‍යුහය ගැන කිංස්ලි ටී වික්‍රමරත්න සරලව, එහෙත් විචක්ෂණශීලීව පැහැදිලි කරද්දී අමුම අමු ග්‍රාම්‍ය සමාජවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එදා දකුණේ මහ ඇමති අපේක්ෂක අමරසිරි දොඩංගොඩ වචන එකතු කළේ එදා නාබර යව්වනයන් වූ අපේ රුධිරය රත් කරවමිනි. කොකා කෝලා වැනි නිෂ්පාදන අළෙවි කරන බහුජාතික සමාගම් වලට පොඩු පෙරමුණු පළාත් සභා පාලනයක් යටතේ බෙන්තර ගගෙන් මෙහා ඉඩක් නොමැති බව හේ ප්‍රකාශ කළේ රැස්ව සිටි අති විශාල ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ ය.

අමරසිරි දොඩන්ගොඩගේ ප්‍රකාශය ජනිත කළේ දේශපාලන අර්බූදයකි. විවෘත ආර්ථික ක්‍රමයක් තුළ බහුජාතික සමාගම් වලටත් ඒවායේ නිෂ්පාදනයන්ටත් බාධා එල්ල කළ නොහැකි බව යූ.එන්.පිය වහාම කීය. එහෙත් දොඩන්ගොඩගේ හැගීම්බර දේශපාලනය ගැන අපට වගේ වගක් නොවූනත් චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් රහසෙන් හෝ සිනා සෙන්නට ඇතිවා නො අනුමානය. එහෙත් කිසිවෙක් ප්‍රශ්න නොකළ කාරණාවක් ද දොඩන්ගොඩගේ ප්‍රකාශය තුළ අඩංගු වුණි.

පළාත් සභා වලට ප්‍රඥප්ති අනුමත කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනුව ය. එය ඉක්මවා යෑම හෝ උල්ලංඝනය කිරීම හෝ සදහා පළාත් සභාවකට කිසිම බලයක් නොමැත. ඒ අනුව බහු ජාතික සමාගම් බෙන්තර ගගෙන් මෙහාට ඒම වැළැක්වීමට දකුණු පළාත් සභාවට බලයක් ඇතැයි සිතීම හාස්‍යජනක ය. ඒ අනුව කොකා කෝලා බෙන්තර ගගෙන් මෙහාට ඒම වැළැක්වීමට අමරසිරි දොඩන්ගොඩට කිසිම බලයක් නොතිබුණි.

නැති නීතියක් ක්‍රියාත්මක කිරීමට යෑම හා තමගේ සිතැගි පරිදි මධ්‍යම රජයේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධව යෑම තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහයක් විය හැක. ඒ අර්ථයෙන් අමරසිරි දොඩන්ගොඩ එදා උත්සාහ කළේ වෙනම රාජ්‍යයක් දකුණේ පිහිටුවීමට යැයි අර්ථ දැක්වීමට ද හැකිය. එය බෙදුම්වාදී සිහිනයක් වන්නට ද පුළුවන. එහෙත් එදා දකුණු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක අමරසිරි දොඩන්ගොඩගේ  මෙම “බෙදුම්වාදී සිහිනය”ට කිසිවෙක් විරුද්ධ නොවුණි. බලය ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටි පොදු ජන එක්සත් පෙරමුණ දොඩංගොඩගේ ප්‍රකාශයට සංවේදී නොවුණි. ඒ  තබා පාලක එක්සත් ජාතික පක්ෂය හෝ බෙදුම්වාදී අර්ථයෙන් නිල අල්ලා පොදු පෙරමුණට පහර නොදුනි. නමුත් දෙමළ ජාතික සංධානය උතුරු පළාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනය ඒ ඒ අතට හරවමින් ඊට විවිධ අර්ථකතන දීමට සිංහල බෞද්ධ දකුණ මේ මොහොතේ උත්සාහ දරමින් සිටීම සැලකිල්ලට ගත යුත්තේ මෙවැනි සංධර්භයක් තුළ ය.

අමරසිරි දොඩන්ගොඩගේ මැතිවරණ කතා දැනුවත් සමාජයට සිනහ උපද වුවද දේශපාලනඥයකු වන ඔහුට ඡන්ද ලබා ගැනීම සදහා එවැනි ආකර්ශනීය විහිළු අවශ්‍ය වන්නට ඇත. බහු ජාතික සමාගම් පාලනය කිරීමට ඔහුට අවශ්‍ය වන්නට ඇතත් නීතිය ඉක්මවා යෑමට පළාත් සභාවෙන් ලැබෙන ජනවරමට නොහැකි බව නීතිඥයකු වූ ඔහු නොදැන සිටින්නට වූවා නොහැකිය. එහෙත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක විග්නෙශ්වරන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ අර්ථයෙන් කියවීමට සිංහල බෞද්ධ දකුණට හුරු නැත. ඒ නිසා දෙමළ ජාතික සංධානය බෙදුම්වාදයක් ගැන විශ්වාසය තබතැයි ද ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් අරගලයක යෙදී සිටින්නේ යැයි ද තරගයට මෙන් ප්‍රකාශ නිකුත් කරති.

ඌව පළාත් සභා මැතිවරණයේ දී එහි ප්‍රධාන ඇමති අපේක්ෂක ධූරයට දකුණේ වැසියකු වන තම ඥාති පුත්‍රයා ඉදිරිපත් කළ ජනාධිපතිවරයාම උතුරට ගොස් දෙමළ ජාතික සංධානයෙන් විමසන්නේ එහි ප්‍රධාන ඇමති අපේක්ෂක ධූරයට එක උගතෙක් බුද්ධිමතෙක් උතුරෙන් සොයා ගැනීමට නොහැකි වූවා ද යන්නයි.  මැතිවරණ උන්මාදයෙන් පෙලෙන බලය සදහාම කටයුතු කරන එවැනි වටපිටාවක දෙමළ ජාතික සංධානය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් මේ මැතිවරණයේ දී කටයුතු නොකරන්නේ යැයි තර්ක කිරීම අර්ථ විරහිත ය. එහෙත් සිහල, දෙමළ හා අනෙකුත් මනුෂ්‍ය රුධිරය හා මාංශ වලින් තෙත් කළ මහත් විනාශයක් කළ අමානුෂික යුද්ධයකින් පසුව ද උතුර සම්බන්ධයෙන් සිංහල බෞද්ධ දකුණේ ප්‍රවේශය මේ නම් එය අතිවිශාල විනාශයක පෙර නිමිති බව සටහන් කර තැබිය යුතුය.

දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වියුක්තව සාකච්ඡා කළ නොහැකි වුවද අවශ්‍ය නම් ඊට තිබූ බාධාව 2009 මැයි මාසයේ දී රාජ්‍යයේ හමුදා විසින් ඉවත් කර තිබීම දකුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ට ඉස්පාසුවකි. ඒ අනුව දැනුවත් සමාජයට පවා සාකච්ඡාවේ දී විශාල මානසික පීඩාවක් ගෙන දුන් එල්.ටී.ටී.ඊය නොමැති වටපිටාවක දෙමළ ජාතික අරගලයට තමන්ගේ වූ විසදුම අත ඇතිව කතා කිරීමට දකුණේ ස්වෝත්තමවාදීන්ට හැකි විය යුතුය. එහෙත් අස්වාමික කාන්තාවකගේ දරාගත නොහැකි දුක ප්‍රකාශ කරන නහයෙන් ඇඩිල්ලකට එහා ගිය විසදුමක් උතුර සම්බන්ධයෙන් දකුණේ කිසිම දේශපාලන පක්ෂයකට නොවීම කනගාටුදායක ය. එසේම ඒ නොහැකියාව උතුරේ උප කේන්ද්‍ර ගත වන බල ව්‍යුහය ප්‍රශ්න කිරීමට ඇති සුජාතභාවය අවලංගු කරමින් පවතින බව ඔවුන්ට තේරුම් ගත නොහැක.

දකුණේ දේශපාලන පෙළ ගැස්වීම් සම්බන්ධයෙන් රාජ්‍යයේ මතය සකස් වී ඇත්තේ ” දේශපාලන හැගීම් හා ව්‍යුහගත වීම් දිය කර හැරීම හා අනතුරුව මර්දනය කිරීම” මතය. උතුර සම්බන්ධයෙන් පශ්චාත් නිදහසින් පසුව දිගටම අනුගමනය කළේ ද එවැන්නි මතයකි. ඒ සදහා සිංහල බෞද්ධ දකුණේ මතවාදී සහාය රාජ්‍යයට ලැබුණි. එහෙත් මේ අසාර්ථක විසදුම කොළඹ පාලනය අර්බූදයට යවන්නක් බව  සිංහල බෞද්ධ දකුණට තවමත් තේරුම් ගැනීමට නොහැකි වීම ඇති කරන්නේ විනාශයකි.

පෙන්නුම් කරන සාක්ෂි හා ධ්‍රැවීකරණය වී ඇති ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් අනුව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් නොකරන බව ඔප්පු කර පෙන්වීම මේ මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානය හමුවේ ඇති බරපතල අභියෝගයයි. වෙනම රාජ්‍යයකින් මෙහා දෙමළ විමුක්ති අරගලයට විසදුම් සොයා ගැනීම ප්‍රතික්ශේප කළ වේළුපිල්ලේ ප්‍රභාකරන් දේශපාලනික අවලංගු කළ ද එය තේරුම් ගැනීමට තරම් ඔහු සාර්ථක නොවුණි. ඒ නිසා භෞතිකව ද ඔහුව අවලංගු කර දැමූ පසුව ජාත්‍යන්තරය විසින් දෙමළ ජාතික සංධානය මත වගකීම පවරා දේවල් පෙළගස්වමින් සිටින බව තේරුම් ගත හැකිය.

එල්.ටී.ටී.ඊය සමූල ඝාතනය කිරීමට ඇමෙරිකන් එක්සත් ජනපදයෙන් විශාල සහායක් ලැබුණ බව ආරක්ෂක ලේකවරයාම පවසන විට ඒ ඇමෙරිකා එක්සත් ජනපදය පෙරලා මේ රට තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට දෙමළ ජාතික සංධානයට උදව් කරතියි පැවසීම මේ මොහොත තුළ වලංගු දේශපාලන කරුණක් නොවේ. පෙළ ගැස්වී ඇති කරුණු කාරණා අනුව ජාත්‍යන්තරයට අවශ්‍යව ඇත්තේ දෙමළ ජාතික සංධානය මගින් දෙමළ ජනතාවට පිළිගත හැකි යම් දේශපාලන බලයක් ලබා ගැනීම සදහා කටයුතු කර “කාර්මික සාමයකින් යුත්” ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමයි. ඒ සදහා ඉන්දියාව මැදිහත්ව කටයුතු කරන බව දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධූරයට සම්මාන ලත් විනිශ්චයකරුවකු වන සී.වී. විග්නේශ්වරන් ගෙන ඒමට කටයුතු කිරීමෙන්ම පෙනේ.

දෙමළ ස්වෝත්තමවාදී මාවෙයි සේනාධිරාජාව වලක්වමින් ලිබරල් හා පුළුල් දේශපාලනික දැක්මකින් යුත් විග්නේශ්වරන් ප්‍රධාන ඇමති ධූර අපේක්ෂක කමට තෝරා ගත්තේ ස්ථාපිත කිරීමට යන දෙමළ පාලනයට වඩා වැඩි සුජාතභාවයක් ලබාදීමට යි. ඇති කරන්නට යන ඒ පාලනය වඩා පුළුල් කර ගැනීමත් ඒ තුළින් වඩා පුළුල් බල ව්‍යුහයක් ඇති කර එය ශක්තිමත් කර ගැනීමත් දෙමළ ජාතික සංධානයේ ශක්තිය මත රදා පවතී. මෙහිදී වැදගත් වන්නේ මෙකී අරමුණ සදහා ජාත්‍යන්තරයේ ඇති අවශ්‍යතාව හා ඒ සදහා භෞතිකය සකස් කර ගන්නා අන්දමයි.

වරක් නිදහස් දින උත්සවයක් අමතමින් ජනාධිපතිවරා ප්‍රකාශ කළේ අඩු වශයෙන් ඩග්ලස් දේවානන්ද , ආනන්ද සංගරී වැනි දෙමළ නායකයන්ට හෝ  පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් රෙජීමයේ හෙජමොනිය වූ ස්වෝත්තමවාදී දේශපාලන බලය විසින් යම් තරමක හෝ පදනමක් සහිත දෙමළ නායකයකු වශයෙන් රෙජීමය තුළ ඉතුරු කර ඇත්තේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පමණි. උතුරේ සෙසු සියළු දෙමළ නායකයෝ මෙම මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට සහාය දෙති. එය ස්වයං සිද්ධව සිදුවූවක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවා දනී.

කෙසේ හෝ උතුරු පළාත් සභා මැතිවරණය තුළින් නිර්මාණය වන්නේ කොළඹ රාජ්‍යයට එක්තරා දුරකට අවනත නොවන බල කේන්ද්‍රයකි. ඒ බල වපසරිය තුළ පිළිගත් සිවිල් බලයක් සහිත විග්නේශ්වරන් ප්‍රධාන ඇමතිවරයා ලෙස තහවුරු කර ගන්නේ රාජතාන්ත්‍රික බවකි. ඒ තුළින් දෙමළ ජනතාවගේ අරගලයට යම් දේශපාලන සුජාතභාවයක් ද නැවුම් ශක්තියක් ද ලබා ගැනීමට දෙමළ ජාතික සංධානය උත්සාහ ගැනීම තේරුම් ගත යුත්තකි. මුළු එකක් ලෙස දෙමළ ජාතික විමුක්ති අරගලයට එල්ල වූ ත්‍රස්තවාදී චෝදනාවෙන් ගැලවී ප්‍රජාතාන්ත්‍රවාදී බලවේගයක් ලෙස ඉස්මතු වීමට ජාත්‍යන්තරයේ සහාය මත දරන වෑයම ජයග්‍රහණයක් ලැබීම අනිවාර්ය බව පැහැදිලි කරුණකි.

මේ ජයග්‍රහණය කොළඹ රාජ්‍යයට අභියෝගයක් වීම නොවැළක්විය හැක්කකි. “ත්‍රස්තවාදය”, “ත්‍රස්තවාදය” යැයි කියමින් දෙමළ ජාතික අරගලයේ සියළු හැඩතල විනාශ කළ කොළඹ රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික හැඩයක් ගත් දෙමළ අරගලයට මුහුණ දීමට වෙහෙසක් දැරීමට සිදුවන කාර්යයකි. තවදුරටත් ඊට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට වලංගුභාවයක් ඇත්තේ සිංහල දකුණ තුළ පමණි. ඒ කිසිම ලේබල්කරණයකට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් ඇති නොවීම රාජ්‍යය මුහුණ දෙන බැරෑරුම් ගැටළුවකි.

උතුරේ දෙමළ විමුක්ති අරගලය සම්බන්ධයෙන් දකුණේ කොළඹ රාජ්‍යයේ ආස්ථානය සුසර කර ගැනීමේ වගකීම ඇත්තේ පාලන රෙජීමයට හා එහි ගාමක බලවේගය වන්නා වූ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුවටයි. තවදුරටත් “ත්‍රස්තවාදයක්” ක්‍රියාත්මක නොවන දෙමළ අරගලය දෙස වෙනස් කෝනයකින් බැලීමට තරම් හැකියාව වර්ධනය කර ගන්නා තරමට තමන් මුහුණ දෙන අර්බූදය ශක්තිමත් නොවන බව මෙම ප්‍රපංචයන් විසින් තේරුම් ගත යුතු ය. තවදුරටත් මිලිටරිමය තෝරා ගැනීම් වලට යෑම රාජ්‍යයේ පැවැත්ම පිළිබද මූලික රීතීන්ට පවා බලපෑම් එල්ල කරන වටපිටාවක් ඇති කරන ලක්ෂණ ගම්‍ය වෙමින් තිබේ. ඒ නිසා වෙනස් වන උතුරේ බල කේන්ද්‍රයට සාපේක්ෂව රෙජීමයේ හා ස්වෝත්තමවාදී සමාජ කොටස් වල මනෝභාවයන්ගේ වෙනසකින් තොරව ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම උකහට ය.

දීර්ඝ කාලයක් තිස්සේ හුරු වූ දේශපාලන ක්‍රමවේදයන්ගෙන් වෙනස් වීම අපහසු කරුණක් බව උතුරේ මැතිවරණය සම්බන්ධයෙන් දකුණේ හැසිරීම අධ්‍යයනය කරන්නෙකුට පහසුවෙන්ම ඒත්තු යන්නකි.උතුරේ වර්ධනය වන දේශපාලන තත්ත්වයට සංවර්ධනාත්මකව මුහුණ දීමට දකුණේ සමාජය අපොහොසත්වීම නැවතත් වටයකින් සමාජයේ කඩා වැටීමට හේතුවක් වීම වැළැක්විය නොහැකි කරුණකි. ඒ අනුව උතුරේ පැන නගින සමාජ දේශපාලන ව්‍යාපාරයන් දෙස ධනාත්මකව බැලීමට දෘෂ්ඨියක් ගොඩ නගා ගැනීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් හමුවේ පමණක් නොව සමස්ත සිංහල සමාජය හමුවේ අද පවතින තීරණාත්මක අභියෝගයකි. ඒ සදහා වෙහෙස වී අධ්‍යයන කළ යුතුය. එසේම ප්‍රායෝගිකව උතුර සම්බන්ධයෙන් දකුණේ ප්‍රවේශය වෙනස් බව ඔප්පු කළ යුතුය. නො එසේනම් රාජ්‍යයක් ලෙස මෙන්ම ජාතියක් ලෙසත් බොහෝ පසුතැවීමකට මුහුණ දෙන්නට සීදුවීම වැළැක්විය නොහැක.

(මෙම ලිපිය Colombo Telegraph  හි පළ වූවකි.)

4. සිංහල සමාජයේ තෝරා ගැනීමට රතුපස්වලින් රතු සංඥාවක්

Basic CMYK

Cartoon by Awantha Artigala

ඒ 1989 බියකරු දිනක උදෑසනකි. මගේ සීයාට දිය නෑම සදහා සහාය වෙමින් සිටිනා විට එතැනට ආ සීයාගේ මිත්‍රයකු ශෝකජනකව කී ආරංචියක් වූයේ අසල ගමක  ටයර් සෑයක මිනිස් ශරීරයක් පිළිස්සෙන බවකි. අගපසග වලින් වයස තිහක පමණ කොල්ලෙකුගේ යැයි සිතිය හැකි යැයි කියමින් මරණය ගැන හේ කම්පා වුණි. ඔහු නික්ම ගිය පසුව සීයා මට පැවසුවේ “මිනිහ ඉතින් ශ්‍රී ලංකකාරයානෙ, අතිනුත් දාල ඔය කියන්නෙ, ඕකුන් පුච්චල මදි” යැයි ලෙසිනි.

මගේ සීයා ඒ වනවිට යූඑන්පීකාරයකු වූ අතර ඉතිහාසය පුරා ඔහු හුරේ තබා තිබුණේ බලපුලුවන්කාර දේශපාලනඥයන්ටය. හේ හැටේ දශකයේ දී ගම්සභාවේ උප සභාපතිවරකු වූ අතර ඒ කාලයේ ඔහුගේ වීරයන් වී තිබුණේ බලපුලුවන්කාර, මර්දනීය හා සල්ලිකාර දේශපාලකයන් මිස ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක කටයුතු කළ දේශපාලකයන් නොවේ. ඒ නිසා ඔහුට තිබුනේ කෙසේ හෝ ආණ්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවකි. ඒ නිසා ඔහුගේ මිතුරාට ශ්‍රී ලංකකාරයකු යැයි ලේබලය අලවා යූඑන්පී ආණ්ඩුවේ තරුණ ඝාතන සාධාරණීකරණය කිරීමේ මානසිකත්වයක් සීයා තුළ ගොඩනැංවී තිබුණි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ 1987 – 89 කාලයේ දී දියත් කළ ආණ්ඩු විරෝධී අරගලය තුළ යූඑන්පී ආණ්ඩුවේ හමුදාවන් මර්දනය දියත් කරන විට සිංහල ජනතාවගේ විඥ්ඥාණය වූයේ “ඕකුන් මරල පුච්චල මදි” යන අදහසකි. ඒ කැරළිකාරත්වය තුළ ඊට එකග විය නොහැකි අපමණ සාධක තිබුණත් ආණ්ඩුවේ ඝාතන සංස්කෘතිය සාධාරණීකරණය කිරීම ශිෂ්ඨ සම්පන්න කිසිවෙකුට කළ නොහැක්කකි. එහෙත් අවාසනාවකට ජන මනස ගොඩනැංවී තිබුණේ ඝාතනයන් අනුමත කරන ස්වරූපයකිනි. එම යුගය පසු කර යූඑන්පී ආණ්ඩුව පරාජය කරන තීරණාත්මක මොහොත වූ 1993 දකුණු පළාත් සභා මැතිවරණයේ දී පවා සමහර මිනිසුන් කටයුතු කළේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත කරමිනි.

මිනිස් ඝාතක යූඑන්පී ආණ්ඩුව පරාජය කළ ඒ මැතිවරණයේ දී මගේ මිත්‍රයකු පොදු ජන එක්සත් පෙරමුණට ඡන්දය ඉල්ලා කරන්දෙනියේ එක් නිවසකට ගිය විට ලද අත්දැකීම ජනවිඥාණයේ ඒ අපූරු හැසිරීමට තවත් සාක්ෂියකි. තරුණ පුතුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරාදමා තිබූ ඒ නිවසට මගේ මිතුරා ගොස් තිබුණේ ආණ්ඩු විරෝධී ඡන්ද දෙකක් ගැන විශාල බලාපොරොත්තුවකිනි. එහෙත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීම ගෙහිමියා විසින් ප්‍රතික්ශේප කර තිබුණේ ” දරුවන් දෙන්න නැති වුනා තමයි, ඒත් උන් දෙන්න වෙනුවෙන් මෙහෙම හරි වන්දියක් ලැබුණෙ යූඑන්පී ආණ්ඩුව නිසයි” කියමිනි.

මිනිස් අයිතීන් හා සමාජ අගයන් ගැන නොතකමින් පුද්ගලික ලාභ අරමුණු තකා නරුමවාදීව සමාජ ප්‍රශ්න දෙස බැලීම සම්බන්ධයෙන් 1987 -1989 යුගය තරම් කදිම පැතිකඩක් පෙන්වන යුගයක් නොමැති තරම් ය. සටන් කළේ සිංහල තරුණයන් වනවිට ඒ සටන් මර්දනය කිරීමට කටයුතු කළේ සිංහල ආණ්ඩුවකි. මර්දනය සදහා යොදා ගත්තේ සිංහල හමුදාවකි. එහෙත් එකම ජාතියේ වූ පොදු සාධකය නොසලකා මර්දනයේ දී ත් ඒ මර්දනය සාධාරණීකරණයේ දී ත් සමාජය පදනම් වූයේ අශිෂ්ඨ චින්තන ක්‍රමයක් මතය. ඒ සම්බන්ධයෙන් මහා පොදු සාධකය ලෙස ඉස්මත්තට ආවේ ජන සමාජයේ අශිෂ්ඨත්වයයි. එය ඉක්මවා යෑමට සියල්ලන් සිංහල වීම හෝ සියල්ලන් බුද්ධාගමෙන් පෝෂණය වී තිබීම හෝ හේතු නොවුණි.

 ආණ්ඩුවට එරෙහිව දෙමළ සටන්කාමීන් අවි අතට ගත් විට ඒ කැරැල්ල මර්දනය සදහා යෙදූ බලය හමුවේ දකුණේ සිංහල ප්‍රජාව සතුටුවීම අහඹුවක් නොවන්නේ එබැවිනි. එහිදී ඇතිවූ මහා විනාශයන් සියල්ලේ දී දකුණේ ජනයා ප්‍රීතීයෙන් කුල්මත් වූ අතර අතලොස්සක් පමණක් එහි ඇති ආදීනව ප්‍රකාශ කළත් දේශද්‍රෝහී ලේබලය අලවමින් හෝ මර්දනය කැදවමින් හෝ ඔවුන් පවා නිහඩ කරන ලදි. සමාජ ප්‍රශ්නයක් ඉදිරියේ දී වඩාත් සංවේදී විය යුත්තේ එම සමාජයේ බුද්ධිමත් තීරුව වුවත් සිංහල ප්‍රජාව තුළ බුද්ධිමතුන් වඩාත්ම නිහඩ වීම ලැජ්ජා සහගත විය. නො එසේනම් රාජ්‍යයේ මතවාදයම ශක්තිමත් කිරීමට බුද්ධිමතුන් ද කටයුතු කළේ නිහීන ලෙසිනි.

ශිෂ්ඨ සම්පන්න විසදුම් ප්‍රතික්ශේප කිරීම සදහා අනෙකාගේ අශිෂ්ඨත්වයට ඇගිල්ල දිගු කිරීම පෞර්ෂත්වයක් නොමැතිකමේ ලක්ෂණයක් වුවත් සමාජයක් ලෙස තෝරා ගත්තේ ඒ අශිෂ්ඨත්වයේ මාර්ගයයි. ඒ නිසා දකුණේ සමාජය එතිහාසිකව ගොඩනංවා ගත් සමාජ පුරුෂාර්ථයන් ද සමාජ අගයන් ද බිල්ලට දුනි. යම් තරමකින් හෝ සමාජය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් හා මිනිස් අයිතීන් මේ වනවිට අහෝසී වී ඇති අතර ඒ වෙනුවට ප්‍රාථමික සමාජ ගති ලක්ෂණ තහවුරු වී තිබේ.

 දැන් දකුණේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවාට වැඩක් නැත. නීතිය හා සමාජ සාධාරණය ඉල්ලුවාට වැඩක් නැත. සාමය හා මිනිස් අයිතිවාසිකම් ඉල්ලුවාට ද වැඩක් නැත. ඒ සමාජ අගයන් හා මිනිස් අයිතීන් අතාර්කික බවට පත් කළේ දකුණේ සිංහල සමාජයේ සාමූහික කැමැත්තෙනි. උතුරට ලබාදීම ප්‍රතික්ශේප කළ සමාජ සාධාරණත්වය කෙසේවත් දකුණට ලැබෙන්නේ නැත. උතුරත් දකුණත් එකලෙසින්ම ධ්‍රැවීකරණය වී ඇත්තේ ඒකාධිපතිත්වයේ මතවාදයකිනි.

ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප එපා කියමින් උද්ඝෝෂණය කරන විටත් වැඩි වූ ඉන්ධන මිල අඩු කරන ලෙස උද්ඝෝෂණය කරන විටත් පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන විටත් ශිෂ්ඨ සම්පන්න විසදුම් ලබා නොදී ඒ සියළු උද්ඝෝෂණ රුධිරයෙන් හා යකඩයෙන් මර්දනය කරන්නේ ශිෂ්ඨ සම්පන්න සංස්කෘතියක සමාජයක් ලෙස අප ස්ථාන ගතව නොමැති බැවිනි.ඒ නිසා දැන් සමාජය ධ්‍රැවීකරණය වී ඇති අශිෂ්ඨ සංස්කෘතික ලක්ෂණ සැනෙන් අහෝසි කළ හැකි තරම් සරල යැයි කිසිවෙකුටවත් කිව නොහැක. මුළු එකක් ලෙස සමාජය ගත් විට එය අශිෂ්ඨ හා ප්‍රාථමික මට්ටමට ගමන් කර තිබේ. සමාජ සංස්ථාවේ සිතුම් පැතුම් මෙන්ම රාජ්‍යයේ පාලන දැති රෝද සකස් වී ඇත්තේ ඒ ඒකාධිපති අවශ්‍යතාවට ගැලපෙන පරිදි ය. ඒ නිසා පානිය ජලය ඉල්ලා මහ මගට බසින වැලිවේරියේ ජනතාවට වෙඩි උන්ඩ මිස මල් වරුසා ලැබේ යැයි සිංහල සමාජය බලාපොරුත්තු වීම දහවල සිහින දැකීමකි.

රටේ ජන මනස හා ආකල්පයන් ද රාජ්‍ය ව්‍යුහය ද සකස් වී ඇති ඒකාධිපති මොඩලයට ගැලපෙන ලෙස  බැවින් ඒවා වෙනස් නොකර සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම කුහකකමකි. එමෙන්ම තක්කඩිකමකි. ඒ නිසා පළමුව ජනමනස මෙන්ම ආකල්පයන් ද වෙනස් කර ගත යුතුය. දෙවනුව රාජ්‍යය ප්‍රතිසංවිධානය කර ගත යුතුය. ජාතික ප්‍රශ්නයට කල්පවත්නා විසදුමක් සොයා නොගන්නා තෙක් දකුණේ සමාජයට ද උතුරට වඩා වැඩි දෙයක් කිසිසේත්ම නොලැබෙන බව නම් ස්ථිර ය.

3. TNA’s Political Power in Northern Provincial Council and the Correct Choice for the Global Politics.

Breaking the national political equilibrium, It seems that external intervention in the Sri Lankan crisis was instrumental in fixing the dates for the Northern Provincial council election. The government ministers like Champika Ranawaka and Wimal Weerawansa represented the dominant ideology of regime while those like DEW Gunasekara and his colleague Doctor Rajitha Senaratna held the minority view.

The Indian National Security Advisor Shivashankar Menon met regime’s leaders recently after the visit to India by the Presidential sibling Basil Rajapakse. After this Indian intervention, the regime has to face the ground reality whatever their mandate was. They took a step backward regarding the matters of provincial councils, 13th amendment and Northern Provincial Council election.

Some acolytes of this regime repeatedly talk for lasting political solution even after defeating the L.T.T.E. although Sinhala Buddhists chauvinists within the regime were only committed to the war.  Exactly the regime has a mandate for a war solution, not for the political solution. The promises made by the regime are merely delaying strategies and those who harbored great hopes for those promises were severely disappointed. The regime ultimately was forced to face the ground reality invalidating their nationalistic political aspirations.

There is a vacuum for the candidacy of chief ministerial post at the forthcoming northern provincial council election for U.P.F.A. and it can likely be filled by the minister of Dugles Devananda. Even if  he doesn’t get the candidacy for chief ministerial post it is only the minister Duglas Devananda who has the capability  to handle the U.P.F.A. election campaign in Northern Province. It cannot be assumed whether any other ex-rebel has enough dynamic to fulfill the vacuum and therefore they will not be selected as their chief ministerial candidate by the U.P.F.A.

It is still not reported that Minister Dugales Devananda who also at one time fought with the Colombo regime gave up the Thimpu Principle .If has not given up the principles for which he fought then he has the political will to address the grievances of Tamil people than KP or Karuna Amman who betrayed their principles and became followers of Colombo regime.  It is happy to hear that such a man handle the election campaign having U.P.F.A. political leadership in the Northern Province. But his political role is a litmus test for the Sinhala Buddhist chauvinists’ ideology. They would have to work together in this election campaign with the minister Dugles Devananda who still accepts Thimpu Principle. The Thimpu Principle is the common factor that binds every Tamil leader together. Then it becomes a paradox where the Sinhala Buddhist chauvinists has to work with Mr.Devananada and against TNA , even though both accept Thimpu Principles , abhorred by the Sinhala Buddhist nationalists.

The minister Dugles Devananda who accepts the Thimpu Principle that consist of the four demands that (i)  recognition of the Tamils of Ceylon as a nation (ii)  recognition of the existence of an identified homeland for the Tamils of Ceylon (iii)  recognition of the right of self determination of the Tamil nation and (iv) recognition of the right to citizenship and the fundamental rights of all Tamils of Ceylon. Those who can reach to an agreement with the people, who accept the Thimpu Principles, cannot reject basis for the T.N.A’s. claim to power of the northern provincial council. This is the paradox that has to be faced by the Sinhala Buddhist chauvinists at this controversial junction. As a solution for the paradox, a retired rebel with anti LTTE credentials that would satisfy Sinhala Buddhist Nationalists should be selected for the chief ministerial candidacy of the U.P.F.A. even if they don’t agree with his political ideology.

 Selecting of former judge Wigneashwaran as the Chief ministerial Candidate of Tamil National Alliance is a great decision in the broader international context. TNA selected an eminently qualified political moderate shunning extremists with ties to LTTE or fanatical sections of Tamil Diaspora , who also understands Tamil grievances, who can be counted to have a standing in international arena and who can negotiate with the Government on Tamil issues at an equal footing.

It is no secret that Indian intervention played a role in selecting the chief ministerial candidate of T.N.A. The Sri Lankan political dynamic proves that India also understood the need of strengthening the powerful administration in the Northern Province and it’s also relevant that India takes decisions taking in to consideration also the interests of powerful nations .The international community cooperated to a large extent with Sri Lankan regime in defeating of L.T.T.E..

Establishing of a powerful T.N.A administration in the Northern Provincial council is a must in this current political context in demanding of Tamil rights. Seeking the solutions with the extremist slogans to the national question would end in a farce or otherwise would result in another tragedy. Therefore, it should be face the reality and tolerate if the international community intervenes in the crisis. The international community needs a peaceful northern province. That means, in this post war era, the Government cannot escape without offering a  lasting political solution that can be acceptable to the Tamil people.

The T.N.A’s political administration to be established in the Northern Province at the forthcoming provincial council election should be strengthened by the democratic and leftist movements also.

2. ගෝලීය දේශපාලනයේ නිවැරදි තෝරා ගැනීමක්

lead-main-graphic-The-Judge-The-Jury

උතුරු පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට සිදුවීමම එතෙක් පැවැති ජාතික දේශපාලන බලතුලනය වෙනස් කරමින් ප්‍රශ්නයට අන්තර් ජාතික මැදිහත්වීමක අදිසි හස්තය දෘශ්‍යමාන වීමක් වුණි. රජයේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා ඩියු ගුණසේකර කුමක් කතා කළ ද රෙජීමයේ මතය නියෝජනය වූයේ අමාත්‍යවරුන් වන චම්පික රණවක හා විමල් වීරවංශගෙනි.එය රෙජීමයේ ජනවරමේ සැබෑ අරමුණ නියෝජනය කිරීමක් වුණි.

එහෙත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරය කිරීමත් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවෂන්කර් මෙනන් දිවයිනේ සංචාරය කිරීමත් සමග ජාතික දේශපාලනයේ මුහුණුවර වෙනස් වී රෙජීමයේ ජනවරම කුමක් වුවද දේශපාලන යථාර්ථය අනුව සිදු වූ ධ්‍රැවීකරණයට මුහුණ දීමට රෙජීමයට සිදු වුණි. ඒ අනුව පළාත් සභා ,13 වන ව්‍යවස්ථා සංශෝධනය හා උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වූ රෙජීමයේ මතය හකුලා ගැණුනි.

එල්.ටී.ටී.ඊ සංවිධානය අවි බලයෙන් යටත් කර දේශයේ සාමය ස්ථාපිත කිරීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ එකම අරමුණ වුවත් පශ්චාත් එල්.ටී.ටී.ඊ යුගය තුළ දේශපාලන යෝජනාවලියකින් සාමය ප්‍රතිස්ථාපනය කිරීම කළ යුතු බව රෙජීමයට අයත් සමහරුන්ගේ මතය වුණි. එහෙත් රෙජීමයට වරමක් ලෑබී ඇත්තේත් රෙජීමයේ ජන පදනම් ධ්‍රැවීකරණය වී ඇත්තේත් යුදමය විසදුමක් සදහා මිස දේශපාලනික යෝජනාවලියකින් දෙමළ ජනතාව ආමන්ත්‍රණය කිරීමට නොවීම මහ පොළොවේ යථාර්ථය බවට පත්ව තිබුණි. ඒ නිසාම දේශපාලන විසදුමක් සදහා රෙජීමය දුන් පොරොන්දු හුදු රුවටීලිකාර උපක්‍රම වූ අතර ඒ වෙනුවෙන් මහත් බලාපොරුත්තු තෑබූවන් විහිළිකරුවන් බවට පත් වුණි. නමුත් අවසානයේ ලෝක දේශපාලන යථාර්ථයන්ට මුහුණුදීමට රෙජීමයට සිදුවී ඇත්තේ ජාතිකවාදී දේශපාලනයේ බොහෝ නිර්ණායකයන් අවලංගු කරමිනි.

උතුරු පළාත් සභා මෑතිවරණයේ පාලක පක්ෂ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා වීමේ අවකාශය ඇත්තේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ට ය. ඔහු ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා නොවූවත් උතුරේ මැතිවරණය කිරීමට නම් පාලක පක්ෂයට නියෝජිතයා ලෙස ශක්තිමත් අයෙකුට සිටීන්නේ ද ඩග්ලස් දේවානන්ද පමණි. විශ්‍රාම ලත් කිසිම එල්.ටී.ටී.ඊ. සටන්කරුවකු තමන්ගේ ප්‍රධාන නියෝජිතයා ලෙස රෙජීමය විසින් තෝරා ගනී යැයි අනුමාන කළ නොහැක්කකි. එල්.ටී.ටී.ඊයට අඛණ්ඩව මුහුණ දෙමින් දේශපාලනිකව ආමන්ත්‍රණය කළ ඩග්ලස් දේවානන්දට තරම් කේ.පී. ට හෝ වෙනත් අයකුට හෝ දෙමළ ජනතාව තුළ දේශපාලන වටීනාකමක් නොමැත.

ඩග්ලස් දේවානන්ද රෙජීමයේ ආරක්ෂාව යටතේ ප්‍රභාකරන්ට මුහුණ දුන්නත් 1985 දී සියළු දෙමළ නායකයන් පිළිගත් තිම්පු මූලධර්ම අත්හරින බව මෙතෙක් ප්‍රකාශ කර නොමැත. සිය කොදු නාරටී රෙජීමයට පාවාදෙමින් එහි සරණ ගොස් ඇති කේ.පී., කරුණා අම්මාන් වැන්නන්ට සාපේක්ෂව තවමත් දෙමළ ජනතාව ඉදිරියට යැමට ඩග්ලස්ට දේශපාලනික පදනමක් ඇත. ඒ අර්ථයෙන් පාලක පක්ෂයේ උතුරු දේශපාලන නායකත්වය ඩග්ලස් දේවානන්දට හිමිවීම සතුටට කරුණකි. එහෙත් ඩග්ලස් දේවානන්දගේ භූමිකාව ලිට්මස් පරීක්ෂාවක් වන්නේ රෙජීමයේ සිංහල ස්වෝත්තමවාදීන්ගේ ක්‍රියාකලාපයන්ට අදාළවයි. ඔහුන්ට අනුව බෙදුම්වාදී දෙමළ ජාතික සංධානයේ දේශපාලනයට එරෙහිව උතුරේ ජනතාව ඉදිරියට යෑමට සිදුවී ඇත්තේ තවත් බෙදුම්වාදියකු කර මත තබා ගනිමිනි.

ඩග්ලස් දේවානන්ද අදටත් පිළිගන්නා තිම්පු මූලධර්මයන්ට අනුව දෙමළ ජන වර්ගය ජාතියක් වශයෙන් පිළිගත යුතු අතර දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය ද පිළිගත යුතුය. උතුර හා නැගෙනහිර දෙමළ ජාතියේ සාම්ප්‍රදායික වාස භූමිය ලෙස ද පිළිගත යුතුය. මේ මූලධර්මයන්ට එකගවීමට රෙජීමයේ සිංහල ස්වෝත්තමවාදීන්ට හැකිනම් දෙමළ ජාතික සංධාන පළාත් සභා බලයකට විරුද්ධවීමට ද ඔවුන්ට නොහැකිය. ඒ අනුව සිංහල ස්වෝත්තමවාදී දේශපාලන ස්ථරයන්ට මුහුණ දීමට සිදුවන උභතෝකෝටීකය “ගෙදර ගියොත් අඹු නසී මග හිටීයොත් තෝ නසී” වැන්නකි. මේ උභතෝකෝටීකයෙන් ගැලවීමට නම් උතුරු පළාත් සභා මැතිවරණයේ පාලක පක්ෂ නියෝජිතයා ලෙස විශ්‍රාම ලත් සටන්කරුවකු තෝරා ගත යුතුය. එහෙත් සියල්ලන් “කර අඹා ගත්” සටන්කරුවන් නිසා ඒ හරහා අල්ප වූ ආසන සංඛ්‍යාවක් හෝ දිනා ගැනීම උකහට ය. සිංහල ස්වෝත්තමවාදීන් අර්බූදයකට තල්ලු වුවද රේජීමයට ඩග්ලස් දේවානන්ද තරම් වෙනත් ශක්තිමත් තෝරා ගැනීමක් ඇතැයි විශ්වාස කළ නොහැක.

දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස හිටපු විනිශ්චයකාර විග්නේශ්වරන් තෝරා ගැනීම පුළුල් ප්‍රජාතාන්ත්‍රවාදී අර්ථයෙන් ප්‍රශස්ත ය. ඒ තෝරා ගැනීම මගින් උතුරේ දෙමළ ජනතාව වෙත යෑමට ශක්තිමත් හා පුළුල් අරමුණකින් යුත් නියෝජිතයකු හරහා කළ හැකි බව දෙමළ ජාතික සංධානය පෙන්නුම් කර ඇත. හිටපු විනිශ්චයකාර විග්නේශ්වරන් තෝරා ගැනීමෙන් එම සංධානය පණිවුඩ කිහිපයක්ම නිකුත් කර ඇතැයි සැලකිය හැකිය. දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදයට මෙන්ම රුධිරය තවරා ගත් ඩග්ලස් දේවානන්දගේ දේශපාලනයට ද එරෙහි වෙමින් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන පුළුල් අවබෝධයකින් හා අන්තර්ජාතික පිළිගැනීමකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වනාකමකින් යුත් විකල්පයක් තුළින් පශ්චාත් යුද අවධිය තුළ කොළඹ රාජ්‍ය සමග ගනුදෙනු කළ යුතුව ඇතැයි ද එම තෝරා ගැනීම මගින් පෙන්නුම් කරයි.

දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා තෝරා ගැනීමට ඉන්දීය මැදිහත්වීමක් සිදුවූ බව නොරහසකි. දිගින් දිගටම සිදුවූ රුවටීම තුළ ඉන්දීයාව පවා තේරුම් ගෙන ඇත්තේ මුළු වැර යොදා ශක්තිමත් පළාත් සභා පාලනයක් උතුරේ ස්ථාපිත කිරීමට විය යුතු යැයි පෙල ගැස්වෙන දේශපාලන තත්ත්වයන් අනුව තහවුරු වේ. මේ ස්ථාවරයට ඉන්දීයාව පැමිණෙන්නේ හුදකලාව නම් නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දු අන්තර් ජාතික දේශපාලන බලවේගයන්ගේ එකගතාව මත ඉන්දියාව කටයුතු කරන බව පැහැදිලි ය. අන්තර් ජාතික දේශපාලනයේ යථාර්ථය තේරුම් ගන්නට නොහැකිව සිංහල ස්වෝත්තමවාදීන් කොළඹ වීදි පුරා යමින් උගුර ලේ රහ කර ගත්ත ද එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද්ධයේ දී ත් අන්තර් ජාතික දේශපාලන බලවේග පාලක රෙජීමයට සහාය දුන්නේ මේ අයුරිනි. එහිදී ද ඉන්දියාවේ භූමිකාව වූයේ අන්තර් ජාතික අවශ්‍යතාව කළමනාකරණය කරමින් එහි නියෝජිතයා වීමයි. ඊට එහා ගිය යමක් මේ අවස්ථාවේ දී පවා දක්නට නොමැත.

උතුරේ දෙමළ ජාතික සංධාන පළාත් සභා පාලනයක් ශක්තිමත් අන්දමින් ස්ථාපිත කිරීම දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අර්ථයෙන් මේ මොහොතේදී අවශ්‍යයෙන්ම කළ යුක්තකි. ඒ අරමුණෙන් ජාත්‍යන්තර දේශපාලනය යම් මැදිහත්වීමක් කරන්නේ නම් ඒ යථාර්ථයට මුහුණ දෙනවා හැරෙන්නට ජාතිකවාදී දේශපාලන සංකල්ප කෑ මොරදෙමින් ප්‍රශ්නයට පියම් සෙවීම අවසන් විය හැක්කේ එක්කෝ සිනහ උපදවන හාස්‍යයකිනි, නො එසේනම් මාරාන්තික හානියකිනි. දෙමළ ජනතාවට පිළිගත හැකි කල්පවත්නා දේශපාලන විසදුමකින් තොරව පශ්චාත් යුද අවධිය කළමනාකරණය කිරීමට නොහැකිය. භෞතික සම්පත් ලබාදෙමින් ජාතීන් අතර එක්සත් කම ඇති කිරීමට නොහැකි වනවා මෙන්ම එක්සත් රාජ්්‍යයක් තුළ සංහිදියාව ඇති වන්නේ ද නැත. ග්‍රාම්‍ය සිංහල ස්වෝත්තමවාදීන්ට තේරුම් ගැනීමට අපහසු වූවාට අන්තර් ජාතික දේශපාලනට අවශ්‍ය වන්නේ හැල හැප්පීම් නැති උතුරකි. එහි ප්‍රධාන සටන්කාමී සාධකය අහෝසි කළ පලියට සාමය උදා නොවන බව ගෝලීය දේශපාලනය දනී.

ඒ අර්ථයෙන් උතුරේ ස්ථාපිත කිරීමට නියමිත දෙමළ ජාතික සංධාන පාලනය ශක්තිමත් කිරීම දකුණේ ප්‍රජාතාන්ත්‍රික හා වාමාංශික බලවේගයන්ගේ ද වගකීම වන්නේය.

1. උතුරට මුහුණ දීමට වැඩපිළිවෙලක් දකුණට නොවීම

 සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ න්‍යායාත්මක අතාර්කිකත්වය972047_513564165359707_831123365_n

උතුරු පළාත් සභා මැතිවරණයේ තම ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා වන්නේ හිටපු විනිශ්චයකාර විග්නේෂ්වරන් යැයි දෙමළ ජාතික සංධානය ප්‍රකාශයට පත් කළ මොහෙතේ සිට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ සුපුරුදු අවලාද නැගීම ආරම්භ වී තිබේ. රෙජීමයේ එක් අන්තවාදී කණ්ඩායමක නායකයා වන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ ඊළම බිහිවීම විග්නේෂ්වරන්ගේ ජයග්‍රහණයත් සමග ආරම්භ වන බවය. තවත් ගෝත්‍රවාදී කණ්ඩායමක නායකයා වන අමාත්‍ය විමල් වීරවංශ “විග්නේශ්වරන්ගේ කැරට්ටුව” හෙළි කිරීමට තරම් ඉදිරියට ගොස් තිබේ. විමල් වීරවංශට අනුව හිටපු විනිශ්චයකාරවරයකු හා නීතී විශාරදයකු මෙන්ම සිංහල සමාජයේ ද සිත් දිනාගත් විග්නේශ්වරන්ට වඩා උතුරේ ප්‍රධාන ඇමති අපේක්ෂක ධූරයට වැදගත් වන්නේ මාවෙයි සේනාධිරාජා ය. දෙමළ ජාතික සංධානයේ තෝරා ගැනීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි කණ්ඩායම් වලට මෙවැනි හැගීම් බර විවේචනයකට ඔබ්බෙන් වූ අදහසක් ඇතැයි මෙතෙක් ප්‍රකාශිත මතයන් අනුව කිව නොහැක. අතීත අත්දැකීම් අනුව කිව හැක්කේ ද දෙමළ ජාතික අනෙකා සම්බන්ධයෙන් සංවර්ධනාත්මක හා සාමුහික මතයක් මේ කල්ලි කණ්ඩායම් වලට පොදුවේ නොවූ බවයි.

මේ මොහොත තුළ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජනතාවගේ නියෝජනය සලකා බැලිය යුත්තේ එම නියෝජනය විසින් ගොඩ නංවන පළාත් සභා පාලනයට දකුණේ ජනතාව, කොළඹ ආණ්ඩුව හා අන්තර් ජාතික ප්‍රජාව සමග සංවාදයක් ඇති කර ගැනීමට පැවතිය හැකි ශක්තිය මතය. අවි ගැටුම් මගින් දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අවකාශය අහෝසි කර ඇති මොහොතක එම අරගලය වඩාත් ප්‍රජාතාන්ත්‍රවාදී හා ජනතා සාමූහිකත්වයක් තුළින් දිනා ගැනීමට ඉහත කී සාධකයන් සමග ඇති කර ගත යුතු සංවාදය අතිශයෙන් වැදගත් වේ. එම බරපතල කාර්යය කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් වූ පුළුල් දැක්මක් හා පිළිගැනීමක් සහිත පළාත් සභා නියෝජනයක ට ය. නැගෙනහිර පළාත් සභාවේ දී උගත් පාඩම් අනුව ඒ අතිශය සංකීර්ණ කාර්යය තවත් පිල්ලෙයාන් කෙනෙකුට හෝ නජීබ් කෙනෙකුට හෝ ඔවුන්ගේ දේශපාලන නියෝජනයට හෝ කළ නොහැක. එවැනි නියෝජනයකට හෝ එවැනි චරිතයන්ට හෝ කළ හැක්කේ ඊනියා සමාජ සුභ සාධන කාර්යයන් මිස පුළුල් අර්ථයෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ශක්තිමත් කර ගැනීමක් නොවේ. එසේම ඒ අරභයා දකුණේ ජනතාව, කොළඹ ආණ්ඩුව හා අන්තර් ජාතික ප්‍රජාව සමග සංවර්ධනාත්මක අවබෝධයක් ගොඩ නංවා ගැනීම ද කළ නොහැක.

අවි බලයට ශක්තියක් දුන් දෙමළ අරගලය අහෝසි කළ පසුව දෙමළ ජාතික සංධානය දේශපාලන උපක්‍රම තෝරා ගැනීම අතින් ප්‍රශස්ත මට්ටමකින් හැසිරුණි. දෙමළ ඩයස්පෝරාව සමග මෙන්ම කොළඹ ධනපති දෙමළ ප්‍රජාව සමග ද ගනුදෙනු කරමින් ද පක්ෂයේ විවිධ මතයන් කළමනාකරණය කරමින් ද එය උත්සාහ දරා ඇත්තේ කොළඹ දේශපාලන බලයට යම් අභියෝගයක් එල්ල කිරීමට ය. දකුණේ විවිධ පක්ෂ මේ යුගය තුළ දේශපාලනය අත් හරිමින් තරගයක් නැතිව රාජපක්ෂ රෙජීමයේ බල ව්‍යහයට අනුගත වුවත් දෙමළ ජාතික සංධානය තවමත් ශක්තිමත් ලෙස “දේශපාලනය” කරමින් කොළඹ ආණ්ඩුවේ බලය හා අරගලයක යෙදෙමින් සිටීයි. දෙමළ ජාතික සංධානය දෙමළ ජනතාවගේ සියළු අවශ්‍යතා නියෝජනය කරන්නා වූ පක්ෂයක් යැයි කිව නොහැක. ඒ අර්ථයෙන්ම විග්නේශ්වරන් ද දෙමළ ජනතාවගේ සියළු අවශ්‍යතා නියෝජනය කරන්නෙක් යැයි කිව නොහැක. එහෙත් දෙමළ ජනතාවගේ ධනේශ්වර නියෝජනය සම්බන්ධයෙන් එම පක්ෂයට මෙන්ම විග්නේශ්වරන්ට ද ඇත්තේ ප්‍රබල ශක්තියකි. ඒ ශක්තිය තුළින් ගොඩ නංවන පළාත් සභා පාලනයක් මගින් දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් දකුණේ ජනතාව සමග යම් සම්මුතියකට ඒ මේ හැකියාවක් පවතී.

එළාර පරාජය කළ දුටුගැමුණු එළාරගේ සොහොන් කොත බැද යන එන්නන් ඊට ගෞරව කළ යුතු යැයි නීති පැන වූයේ රාජ්‍යය ගොඩ නැගීමේ පදනමක් වශයෙන් විය හැකිය. එහෙත් එමගින් පරාජිතයාට ඇතිවන ශක්තිය වැරදි ලෙස භාවිතා කිරීමට යොදා ගනීවි යැයි දුටු ගැමුණු තුළ බියක් හෝ සැකයක් හෝ ඇති වූ බවට සාක්ෂි නොමැත. ජයග්‍රාහකයා පෞර්ෂයෙන් ද ජයග්‍රාහී බව විශද කරමින් ඒ පියවර තැබූවේ ජන කණ්ඩායම් අතර එකමුතු බව වෙනුවෙනි. මළවුන් වෙනුවෙන් ඉටී පන්දමක් හෝ දැල්වීම මළවුන්ට එතිහාසික වටීනාකමක් ලැබෙතැයි සිතන මෙවන් යුගයක පරාජිතයාගේ ඉච්ඡා භංගත්වය අහෝසි කිරීමට පියවර ගනිතැයි සිතීම විහිළුවකි. පශ්චාත් යුද අවධියකින් පසුව ජයග්‍රාහකයා කළ යුත්තේ පරාජිතයාට ඔච්චම් කරමින් අශිෂ්ඨ තෘප්තියක් ලැබීම නම් ඒ පදනමින් රාජ්‍යය ගොඩ නැංවීම කළ නොහැක්කකි. ලෝක ඉතිහාසය අපට උගන්වා ඇත්තේ පරාජිතයාගේ ඉච්ඡාභංගත්වය නැති කරමින් රාජ්‍යය ගොඩනැංවීමේ එතිහාසික කාර්යයට පදනම දැමිය යුත්තේ ජයග්‍රාහකයාම බවය.

අවි දැරූ දෙමළ අරගලය අහෝසි කළ පසුව පරාජිතයා බියට පත් කරමින් ජන මිශ්‍රණය ඇති කිරීම තුළින් සමානතාව හා සහජීවනය ඇති කිරීම කළ හැකි යැයි දකුණේ ජනයා තුළ මතවාදයක් ලෙස ස්ථාපිත කිරීම ජයග්‍රාහකයාගේ පෞර්ෂය පිළිබද ගැටළුවකි. දෙමළ සමාජයෙන් පොළා පනින්නා වූ කිසියම්ම හෝ නායකත්ව අංකුරයක් අර්ථ දක්වන්නේ ඊළාම් රාජ්‍යයේ ආරම්භය ලෙස නම් එය ද එවැනි පෞර්ෂ ගැටළුවකි. පශ්චාත් යුද සමයකින් පසුව රාජ්‍ය ගොඩ නැවීමේ ලා සිංහල සමාජයට නායකත්වය දෙන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් කිසි කෙනෙක් දෙමළ සමාජය දෙස සංවර්ධනාත්මක හෝ ධනාත්මක හෝ කෝනයකින් නොබලන්නේ ඒ ගැන නොදන්නා නිසා නොව එවැනි සංස්කෘතික හැකියාවක් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය තුළ නොමැති බැවිනි. ඒ අර්ථයෙන් මේ පෞර්ෂ ගැටළුව සිංහල සමාජයේ හෙජමොනික වී ඇති මතවාදයට ආවේනික හා අනන්‍ය වූවක් මිස තාක්ෂණික කරුණක් නොවේ.

සිංහල ජාතිකවාදය මුළු එකක් ලෙස ගොඩ නැංවි ඇත්තේ රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගනිමිනි. එය ධනපති පන්තියේ ග්‍රහණයෙන් ඔබ්බේ වර්ධනය වූ මතවාදයක් වන නිසාත් ස්වාභාවයෙන්ම රාජ්‍යය හා අනන්‍ය වන නිසාත් ඊට පුළුල් දැක්මක් නොමැත. අනිත් කරුණ වන්නේ 1978 ආර්ථික ප්‍රති සංස්කරණ වලින් පසුව රාජ්‍යයේ ගාමක බලය ඩැහැගෙන ඇත්තේ ලූම්පන් ධනය ඇති පන්තිය විසින් නිසා සම්භාව්‍ය ලෙස සිංහල ජාතිකවාදය ගොඩනැංවෙන්නේ ද නැත. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාව තුළ ජාතිකවාදය යැයි මතවාදයක් හෝ ඒ අරඹයා සමාජ ක්‍රියාකාරීත්වයක් හෝ දක්නට නොමැත. රාජ්‍යයේ පාලනය තුළ කටයුතු කරන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදයක් හා ඒ අරඹයා කටයුතු කරන සමාජ ක්‍රියාකාරීත්වයක් පමණක් ලාංකික සමාජය තුළ පවතී. ඒ අනුව එක් අතකින් සමාජ ක්‍රියාකාරීත්වය ලූම්පන් ධනය ඇති සමාජ කොටස මගින් පෝෂණය වන නිසාත් මතවාදය රාජ්‍යයේ අවශ්‍යතාව අනුව හසුරුවන්නක් නිසාත් ජාතීන් අතර සහයෝගය හෝ සහජීවනය වර්ධනය කරන්නා වූ සමාජ වැඩපිළිවෙලක් සිංහල ජයග්‍රාහකයා තුළින් ඉදිරිපත් වේ යැයි බලාපොරුත්තු වීම අර්ථ විරහිත කරුණකි.

විවිධ නම් වලින් හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති හා බිහි වෙමින් පවතින වාර්ගික අගතීන්ගෙන් යුත් කල්ලි කණ්ඩායම් සිංහල හෝ සිංහල බෞද්ධ හෝ ජනතාවගේ සැබෑ වුවමනා එපාකම් ගැන සංවේදී වන බවක් දකින්නට නොවීම එම කල්ලි කණ්ඩායම් වල සැබෑ පදනම් හෙළි කරයි. රටේ බහුතර ජනතාව වන්නේ සිංහලයන් නිසාම ධනේශ්වර පීඩනයට සංඛ්‍යාත්මකව වැඩියෙන් ගොදුරු වන්නේ ද සිංහලයන්ම ය. ඒ අනුව මැද පෙරදිග රටවල් වල වහල් මෙහෙවර කිරීමේ දී හෝ මෙරට ඇගළුම් කම්හල් තුළ වහල් මෙහෙවර කිරීමේ දී හෝ සූරාකෑමට ලක්වන සිංහලයන් ගැන හෝ ඔවුහු සංවේදී නොවෙති. එසේම එතිහාසික අසාධාරණයකට ලක් වී ඈත පානම් පත්තුවේ දිවි ගෙවන සිංහලයන්ගේ ඉඩම් නැවතත් උදුරා ගනිමින් දෙවැනි වතාවටත් ඔවුන්ට කරන්නා වූ අගතිය ගැන මේ සිංහල හිතකාමීහු කතා කරන්නේ නැත. ඒ අර්ථයෙන් මේ කල්ලි කණ්ඩායම් සිංහලයන්ගේ වුවද සැබෑ අයිතීන් වෙනුවෙන් හඩ නගන හෝ ක්‍රියා කරන සමාජ ක්‍රියාකාරීත්වයක නොමැත. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි කණ්ඩායම් සිංහලකම ගැන කතා කරන්නේ සිංහල ලූම්පන් සමාජ කොටසේ ආර්ථික ශක්තියට හානියක් වනතාක් පමණි. ඒ අනුව මේ කල්ලි කණ්ඩායම් සැබෑ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයක කොටස්කරුවන් වන බවක් කිව නොහැකිය.

උතුරේ වර්ධනය වන දේශපාලන තත්ත්වයට සංවර්ධනාත්මකව මුහුණ දීමට දකුණේ සමාජය අපොහොසත්වීම නැවතත් වටයකින් සමාජයේ කඩා වැටීමට හේතුවක් වීම වැළැක්විය නොහැකි කරුණකි. ඒ අනුව උතුරේ පැන නගින සමාජ දේශපාලන ව්‍යාපාරයන් දෙස ධනාත්මකව බැලීමට දෘෂ්ඨියක් ගොඩ නගා ගැනීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් හමුවේ පමණක් නොව සමස්ත සිංහල සමාජය හමුවේ අද පවතින තීරණාත්මක අභියෝගයකි.